සුදෝ සුදු හිමෙන් වැසුණු ග්‍රීන්ලන්තය

නිරන්තරයෙන් කතාබහට ලක් නොවන ලෝකයේ වෙනස් විදිහේ රටවල් පිළිබඳව සිදු කරන ගවේෂණයේ අද අපට හමුවන්නේ ලෝකයේ විශාලම දූපත වන ග්‍රීන්ලන්තයයි. ඉතා සාමකාමී රාජ්‍යයක් වන ග්‍රීන්ලන්තය මදක් වැඩි අවධානයට ලක් වූයේ පසුගිය කාලයේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එය ඇමරිකාව වෙනුවෙන් මිලදී ගැනීමට උත්සාහ කිරීම හේතුවෙනි.
ලංකාව මෙන් 33 ගුණයකින් විශාල මෙම විශාල දූපතේ ලෝකයේ අනෙක් රටවල් වලට සාපේක්ෂව වෙනස් ජෛව විවිධත්වයක් සහ සංස්කෘතික අනන්‍යතාවයක් දක්නට ලැබේ.
ග්‍රීන්ලන්තය පිළිබඳව විමසීමේදී සිතට එන තවත් ප්‍රශ්නයක් වන්නේ අයිස් වලින් වට වූ භූමියක් "ග්‍රීන්"ලන්තය යනුවෙන් හඳුන්වන්නේ ඇයිද යන්නයි. එය පිටුපස අපූරු කතාවක් තිබේ. මිනිසුන් ඝාතනය කිරීම සහ සාහසික ක්‍රියා සිදු කිරීම හේතුවෙන් අයිස්ලන්තයෙන් පිටුවහල් කළ රතු එරික් නමැත්තෙකු සහ ඔහුගේ සහචරයින් ග්‍රීන්ලන්තයේ පළමු වැසියන් විය. ඔවුන්ට ග්‍රීන්ලන්තයේ ජනපද පිහිටුවීමට අවශ්‍ය ජනතාව ගෙන්වාගැනීමේ අරමුණින් මෙම භූමිය හරිත පැහැයෙන් වැසුණු බිම ලෙස ප්‍රසිද්ධියට පත්කර ඇත. මේ හේතුවෙන් වර්තමානයේදීත්, අධික හිම තට්ටුවකින් වැසුණු එම භූමිය ග්‍රීන්ලන්තය ලෙස හඳුන්වයි.
මුළු ලෝකයේම අඩුම ජන ඝනත්වයක් ඇති දූපත වන්නේද ග්‍රීන්ලන්තයයි. වර්ග කිලෝමීටර මිලියන 2.17 ක පමණ විශාල භූමි ප්‍රමාණයක් පැවතියද එහි ජීවත් වන්නේ මිනිසුන් 56000 කටත් වඩා අඩු පිරිසකි. මෙය තවමත් ඩෙන්මාර්කය යටතේ පරිපාලනය වීම හේතුවෙන් ස්වාධීන රාජ්‍යයක් ලෙස නොසලකයි.
වසර පුරා හිම මිදෙන උෂ්ණත්වයක් පවතින ග්‍රීන්ලන්තයේ ජූලි මාසයේදී ඇතැම් විට උෂ්ණත්වය සෙල්සියස් අංශක 0 ට වඩා පහළ යාම බලාපොරොත්තු විය හැකියි. මේ හේතුවෙන් එම දේශය මුළුමනින්ම මෙන් සුදු පැහැයකින් ආවරණය වී තිබේ. එබැවින් එයට වැටෙන හිරු එළියත් බහුල වශයෙන් පරාවර්තනය වේ. සාමාන්‍යයෙන් මෙවැනි තත්ත්වයන් පවතින්නේ අයිස් යුගයන්හිදී (Ice Age) පමණි. එම නිසා ග්‍රීන්ලන්තයත් රට අභ්‍යන්තරයට කුඩා අයිස් යුගයක් පවතින දූපතක් ලෙස හැඳින්විය හැකියි.
තවද ග්‍රීන්ලන්තයේ මහාමාර්ග දක්නට නොලැබෙයි. වරින්වර ග්ලැසියර් දියවීම නිසා තාවකාලික ජල මාර්ග නිර්මාණය වීම හේතුවෙන් එහි අභ්‍යන්තර මාර්ග ඉදිකිරීම අසාර්ථකය. එහි අගනගරය වන නූක් හි පමණක් කුඩා ප්‍රමාණයේ මාර්ග කිහිපයක් ඇති අතර ගමනාගමන කටයුතු බොහෝ විට සිදු වන්නේ කුඩා නැව් සහ බෝට්ටු යොදා ගනිමින් ජලමාර්ග ඔස්සේ ය.
ග්‍රීන්ලන්තයේ පිහිටීම ගත්විට එය ඇමරිකාව සහ වර්තමාන රුසියාවට අතරමැදි දේශයක් ලෙස පිහිටා තිබේ. ඇමරිකාව එය නීත්‍යානුකූලව මිලදී ගැනීමට උත්සාහ කර ඇත්තේ ද යුධමය වාතාවරණයකදී එයින් ලබාගත හැකි ප්‍රයෝජන සැලකිල්ලට ගනිමිනි.
කෙසේ නමුත් මෙම දේශයෙන් සමස්ත ලෝකයටම බලපැවැත්විය හැකි හානි සිදු විය හැකි බව ඔබ දැනුවත් ද. එනම් උත්තර ධ්‍රැවයට ආසන්නව පිහිටි අධික ග්ලැසියර් තට්ටුවකින් වැසුණු භූමියක් වීම හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම මගින් මෙම ග්ලැසියර් දියවී මුළු ලෝකයටම බලපෑම් ඇති කළ හැකි සුනාමි, භූ කම්පා ආදී තත්ත්වයන් නිර්මාණය විය හැකි වීමයි.
475 Views
Comments