රුහුණු රටේ ප්‍රධාන වරාය - ගෝඨපබ්බත

අතීතයේ රුහුණු රටේ ප්‍රධාන වරාය බවට පත්වූයේ වලවේ ගං මුවෙදාර පිහිටි ගොඩවායයි. ගොඩවාය, ගොඩපවෙත, ගෝඨපබ්බත ආදී විවිධ නම්වලින් මෙම වරාය හඳුන්වා ඇත. ගොඩවාය ලෙසින් හැඳින්වීමට හේතුව ගෝලාකාර පර්වතය මත ඉදිවූ කුඩා ප්‍රමාණයේ චෛත්‍ය නිසා වන්නට ඇතැයි විශ්වාසයක් පවතී.
ජනප්‍රවාදය අනුව මේ ආසන්නයේ සිටි තාපසයකුට ගෝඨාභය රජු විහාරස්ථානය සාදා පූජා කළ නිසා රජුගේ හා තවුසාගේ නම් එක්කර ගෝඨපබ්බත වීයැයිද මතයක් වේ. මෙකී ප්‍රදේශය වර්තමානයේ ධීවර ගම්මානයකි.
ගොඩවාය මෙරට ඉතිහාසයේ කරුණු කිහිපයක් නිසා වැදගත් වේ. ගොඩවාය පැරැණි වරාය, ගොඩවාය පැරැණි විහාරය, ගොඩවාය ප්‍රාග් ඓතිහාසික සාධක හා ගොඩවාය මුහුදින් හමුවූ ආසියානු කලාපයේ මෙතෙක් සොයාගෙන ඇති පැරැණිම නෞකාව නිසාය.
තරමක් උස මනස්කාන්ත කඳු ගැටයක ඉදිකර තිබෙන ගොඩවාය විහාරය ක්‍රිස්තු පූර්ව යුගයේ සිටම පැවැත එන බව නටබුන් අනුව තහවුරු වේ. විහාර භූමියේ ඉහළම ස්ථානයේ ස්තූපයකි. ස්තූපය මනාසේ මුහුදට දිස්වන පරිදි නිමවා ඇත.
මෙරට සොයාගෙන ඇති බොහෝමයක් පැරැණි වරායන්හි මෙම ලක්ෂණය දැකිය හැකි වේ. වරාය ආසන්නයේ වන ඉහළම ස්ථානයේ මුහුදට දිස්වන සේ චෛත්‍යක් නිමවීමයි. ගෝකණ්ණ, ලංකා පටුන හා කුච්චවේලි යන පුරාණ වරායන්හීද මෙම ලක්ෂණය දැකිය හැකි වේ. එමඟින් නාවිකයන්ට ඈත මුහුදේ සිටම පහසුවෙන් වරාය පිහිටි ස්ථානය නිශ්චිත කරගැනීමට හැකිවන්නට ඇත.
ගොඩවාය අවටින් රෝම කාසි, පබළු හා වළං කැබැලි හමුවීම මත අතීත වෙළෙඳ සබඳතා පිළිබඳ තහවුරු වේ. වලවේ ගංගාව රිදියගම, මහනාවුලුපුර, රම්බා විහාරය වැනි ඓතිහාසික ජනාවාස හරහා පැමිණ ගොඩවායෙන් මුහුදට වැටේ. පසුකාලීනව සිදුවූ පාරිසරික වෙනස්කම් මත ගංගාව ගොඩවාය සිට කිලෝමීටර් දෙකක් පමණ දුරින් පිහිටි අම්බලන්තොටින් මුහුදට වැටේ.
වර්ෂාව අධික කාලයන්හිදී වැලි පරයෙන් වැසී පවතින පැරැණි මුවෙදාර යළි සක්‍රිය වන ආකාරය දැකගත හැකි වේ. ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් ගම්වාසීන් එකතුවී පැරැණි මුවදොර පුළුල් කිරීමටද කටයුතු කරයි.
678 Views
Comments