පෙමට මව්පියන් විරුද්ධ වුණැයි පෙම්වතුන් වස බොයි - තරුණිය මරුට, තරුණයාට අසාධ්‍යයි

දිඹුල, ස්ටොනික්ලිප් වතු යායේ නිවාඩු නිකේතනයකට(කාබාන) අනවසරෙන් ඇතුල් වූ තරුණයෙකු සහ තරුණියක් වස පානය කර තිබේ.
පසුගිය 15 වනදා මෙම සිදුවීම වී ඇති අතර ඉන් තරුණිය සංචාරක නිකේතනය තුළදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් තිබෙන්නේ දිඹුල, යුනිෆිල්ඩ් වතු යායේ පදිංචි කාර්තිගා නමැති 17 හැවිරිදි තරුණියකි.
මියගිය එම තරුණිය සහ තරුණයා පෙම් යුවලක් වන බවත්, එම පෙම් සබඳතාවට දෙපාර්ශවයේම දෙමව්පියන් විරුද්ධ වූ නිසා මිය ගිය තරුණිය සහ තරුණයා 15 දින උදෑසන කාලයක් තිස්සේ තාවකාලිකව වසා දමා ඇති නිවාඩු නිකේතනය අනවසරෙන් ඇතුල් වී දෙදෙනාම එකවර වස පානය කර ඇත.
පසුව පෙම්වතා ඔහුගේ මිතුරෙකුට සිදුවීම සම්බන්ධයෙන් දුරකථනයෙන් දැනුම් දීමෙන් අනතුරුව දිඹුල පොලිසිය විසින් 16 වනදා දින රාත්‍රියේ එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී පෙම්වතිය මියගොස් සිට ඇති බවත්, වස පානය කර අසාධ්‍ය තත්ත්වයේ සිටි පෙම්වතා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහුගේ තත්ත්වය බරපතළ නිසා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් දිඹුල පතන පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් පෙම්වතාගෙන් ලබාගත් ප්‍රකාශ මත ප්‍රේම සම්බන්ධතාවට දෙපාර්ශවයේම දෙමව්පියන් සහ ඥාතීන් විරුද්ධ වීම හේතුවෙන් සියදිවි හානිකර ගැනීමේ චේතනාවෙන් දෙදෙනාම වස පානය කළ බවට පොලිසියට ප්‍රකාශයක් ලබාදුන් බවද දිඹුල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්දසිරි මහතා සඳහන් කළේය.
මියගිය තරුණියගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබේ.
1024 Views
Comments