කොවිඩ් මාරයාට වෙන්කල නොහැකි වූ ආදරය - රෝහල්ගත බිරිඳට දුව අතේම 'ලව් ලෙටර්' යවන ආදරණීය තාත්තා

ආදරයට සීමා මායිම් නෑ. ඕනෑම වෛරසයක්, ඕනෑම වසංගතයකට වඩා ආදරය හරි බලවත්...
ආදරය කියන්නේ වයස එක්ක මොට වෙන දෙයක් නෙමෙයි.. ආදරය දවසින් දවස මුවහත් වෙනවා.
මේ තියෙන වසංගතය නිසා තමන්ට යන්න බැරි නිසා රෝහල්ගත වෙලා ඉන්න බිරිඳට දුවගෙ අතේ ආදර හසුන් යවන ආදරණීය තාත්තෙක් ගැන Facebook සටහනක් අපිට හමු වුනා..
"අම්මා බලන්න යද්දී මට ලව් ලෙටර් එකකුත් අරන් යන්න වෙලා" ලියුම් ගෙනියන දුව තබන සටහන කියවලාම බලන්න.. ඇගේ අම්මා කොයිතරම් වාසනාවන්තයිද කියලා.
දිනපතා අම්මා බලන්න රෝහලට යද්දී අරන් යන දේවල් එක්ක එයාට
"ලව් ලෙටර්"එකකුත් මට අරන් යන්න වෙලා.
තාත්තා...රටේ තියෙන වසංගත තත්වය එක්ක අම්මව බලන්න දිනපතා එක්ක යන්නෙ නෑ..
ඒක තේරුම් අරන් එයත් පොතක්පතක් කියවන් ගෙදරට වෙලා ඉන්නවා.
රෑට මොනවාද ලියනවා දකිනවා.ඊට පහුවදාට යද්දි සීල් කරල ඒක මට දෙනවා අම්මට ගිහින් දෙන්න..
මාත් ඉතිං දූතයා වෙලා එයාගෙ ආදර සංදේශ අම්මට අරන් යනවා..
අනුන්ගෙ ලියුමක් කියවන එක සදාචාරසම්පන්න නොවන බව දැන දැනම,ලියල තියෙන්නෙ කවි බව දැනගත්තට පස්සෙ මට ඕකක් කෝම හරි කියවන්න ඕනි වුණා..
අද අම්මා ලියුම කියවල පොතක් අස්සෙ දානකල් ඉදල මං පොත එක්කම ෂේප් එකේ ගෙදර අරන් ආවා..
අම්මා..කොළඹට අරන් එද්දි සෑහෙන මානසික කැළඹීමක හිටියෙ,ඒ එයාගෙ කකුල කපන්න වෙයි කියල හිතල..
අපේ හිතේ බය,දුක යටපත් කරන්,එයාගෙ හිතේ බය නැති කරන්න අපිට ලොකු වෙහෙසක් ගන්න වුණා..
ඒ අතර තාත්ත එයාට ලියල යවන මේ කවිත් එයාගෙ හිතට සතුටක්,සැනසිල්ලක් ගේනවා ඇති..
භවයෙන් භවය එළැඹී ගමනකට සුබ
විකසිත සිතැ'ඟි සතපා මුණ ගැසෙනු ලැබ
යමු තව දුරට දුක'ඳුර ඉවතකට පිඹ
මට ඇති පරම සැනසුම අස්වැසුම ඔබ
සෙවණැල්ලක් සෙයින් මේ දිවි ගමන තුළ
හතලිස් වසක දුර විමසා බලන කල
ගිලිහුණු කඳුළු කැට එක්කොට දෙපය මුල
එය මුතුහරක් සේ පළඳිනු මැනවි ගෙල
සෙනෙහස ආදරය පළලින් වගෙම දිගෙන්
ඊයේ මෙන් අදත් මතු හෙට දිනද නැගෙන්
ගොඩගත් "මැණික"සම ආදර සුවඳ ගඟෙන්
ඔබ වැනි සොඳුරු කවියක් නොලියැවිනිය මගෙන්
කළ හැකි යමක් දුර දිග හුරු දෙනෙත විදා
දරුවන් තුන්දෙනෙක් ලෝවැඩ පිණිස පුදා
මේ යන ගමන තුළ යුතුකම ඉවත නොදා
උහුලා ගනිමු අපි දුක සැප දෙකට බෙදා
රැකගෙන සොඳුරු පතිනියකගෙ ළබැඳිකම
මගෙ ලොව රැජිණියව රැකවල් සැදුව සැම
මව්ගුණ සුවඳ හැරුණම දිවි ගමනෙ මෙම
ඔබෙ ගුණ සුවඳ ගැන දැන හැඳිනියෙමි මම
අසනීපයක් වැළඳුන විට යුහුසුළු වේ
උවටැන් අමාමය ගුණ නදියකි ගැලුවේ
සිව්දෙනෙකුගේ බර රඳවාගෙන ඔලුවේ
කළගෙඩි තරම් දහදිය කඳුළුය සැලුවේ
විටකදි හොඳ නරක කරගත නුහුණු පසක්
සිදුවුණ වරදකදි අරගන නුහුරු වෙසක්
ඔවදන් වලට මුහුකළ රළු පරළු බසක්
තරහට නොවේ ඒ මගෙ යහපතට මිසක්
සත්වග දිවි ගෙවන ලොව තුළ සසර බියෙන්
සිව්බඹ විහරණය මතුකොට පිරුණ ළයෙන්
සරසා දිවි පෙවෙත සදහම් අමොද දියෙන්
අපි සමුගනිමු එක දවසක එකම පැයෙන්.
8865 Views
Comments