දුම්රියෙන් ඇදවැටී මැරුණැයි කී අය භූමදානයට පසු දින ගෙදර ඇවිත්

දුම්රියකින් බිමට ඇද වැටී මියගිය පුද්ගලයකුගේ අවසන් කටයුතු සිදුකොට දිනකට පසු මිය ගියේ යැයි සිතූ පුද්ගලයා ගාලු මුවදොර උද්ඝෝෂණයට ගොස් ආපසු නිවසට එද්දී ඔහුගේ සොහොයුරා සහ අසල්වැසියන් බියටත් පත්වීමේ සිද්ධියක් ගම්පහ, ඔරුතොට ප්‍රදේශයෙන් වාර්තාවේ.
පසුගිය 05 වැනිදා ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු කලුපාලම අසලදී දුම්රියකින් ඇදවැටී පුද්ගලයෙකු මියගොස් ඇති අතර එම තැනැත්තා තම සොහොයුරා බවට හදුනාගැනීම මත මරණ පරීක්ෂණය සහ පොලිස් පරීක්ෂණයෙන් පසු ඔහුගේ සොහොයුරා විසින් බාර ගැනීමෙන් අනතුරුව අවසන් කටයුතු 06 වෙනි දින සිදු කොට තිබේ.
අවිවාහකයින් වන 72 හැවිරිදි මොහු සහ තමන් එකට ජීවත්වන බවත් පසුගිය දා පිළියන්දල යන බව පවසා ගිය අතර යළි නොපැමිණීම හේතුවෙන් සොයා බලමින් සිටියදී දුම්රියකින් වැටී මියගිය පුද්ගලයෙකු පිළිබඳව ආරංචියක් ලැබී 05 වෙනි දින රාත්‍රී 7ට පමණ කලුපාලම අසලට ගොස් බැලීමේදී මියගොස් සිටි තැනැත්තා තම සොහොයුරා බවට හදුනාගත් බවත් ඔහුගේ සොහොයුරා සඳහන් කළේය.
පසුදින ගම්පහ රෝහලේදී පැවති මරණ පරීක්ෂණයෙන් සහ අධිකරණය වෛද්‍ය පරීක්ෂණය මෙන්ම පොලිස් පරීක්ෂණයෙන් පසුවද මියගොස් සිටි තැනැත්තා තම සොහොයුරා බවට හදුනාගැනීම මත අසල්වැසියන්ද සමඟ එක්ව 06 වන දින අවසන් කටයුතු සිදු කිරීමට පියවර ගත් බවත් ඔහු කියා සිටියේය.
මියගිය තම සොහොයුරාගේ හත් දවසේ දානය සූදානම් කරන අන්දම සිතමින් සිටියදී සොහොයුරා නිවසට පැමිණෙනු දැක තමන් භීතියට සහ විශ්මයට පත්ව සොයුරාගෙන් තොරතුරු විමසීමේදී තමන් පිළියන්දලට ගොස් ආපසු පැමිණෙමින් සිටියදී ගාලු මුවදොර පැවැත්වෙන උද්ඝෝෂණයට යාමට සිතුනු නිසා එහි ගොස් කාලය ගත කොට මෙලෙස ආපසු පැමිණි බව සිද්ධිය විස්තර කළ බාල සොහොයුරා සඳහන් කළේය.
තම වැඩි මහල් සොහොයුරා මෙන්ම සරමක් සහ කමිසයක් හැද සිටි අනතුරට පත්ව සිටි තැනැත්තා තම සොහොයුරාගේම හැඩරුවට සමාන බව ඔහු පැවසු අතර තමන්ද ප්‍රදේශවාසීන්ද මියගොස් සිටි තැනැත්තා තම සොහොයුරා බවට තීරණය කළ බවත් ඔහු පැවසීය.
727 Views
Comments