ශ්‍රී ලංකා ඔලිම්පික් ඉතිහාසය අලුතින් ලියන නෙල්කා

ශ්‍රී ලංකා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් පළමු වරට ශ්‍රී ලාංකික කාන්තාවක් ඔලිම්පික් තරගාවලියක් විනිශ්චය කිරීම සඳහා තීරක කටයුතු සඳහා සුදුසුකම් ලබා තිබේ.
ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරන කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් වන ටී. නෙල්කා ශිරෝමාලා නිලධාරිනිය මේ සඳහා සුදුසුකම් ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසයේද මේ රන් අකුරින් සටහන් වනු ඇත.
ඒ අනුව 2021 වසරේ ජපානයේ ටෝකියෝ නගරයේ පැවැත්වීමට නියමිතය 2020 ඔලිම්පික් ක්‍රීඩා තරඟාවලියේ බොක්සිං තරග තීරක සඳහා විනිසුරුවරියක ලෙස කටයුතු කිරීමට ඇය තෝරා පත් කරගෙන තිබේ.
ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඇය 1997 වසරේදී ආධුනික කාන්තා උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක් වූවාය. 2021 වසරේ පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ජාතික තරගාවලියකට සහභාගි වූ පළමු පොලිස් කාන්තා බොක්සිං ක්‍රීඩිකාව වන්නේද ඇයයි.
2001 වසරේ සිට 2006 වසර දක්වා ශ්‍රී ලංකා පොලිසියේ නියෝජනය කරමින් බොක්සිං තරගාවලිය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා පොලිසිය වෙත විවිධ ජයග්‍රහණයන් ද අත්කර දී ඇති අතර අඛණ්ඩව වසර පහක් දක්ෂතම බොක්සිං අපරාජිත ක්‍රීඩිකාවට හිමි සම්මානයද දිනා ගත්තාය.
2009 වසරේදී පළමු වරට ශ්‍රී ලාංකීය කාන්තාවන් සඳහා වූ බොක්සින් තරඟ තීරක වශයෙන් සමත් වූ ඇය 2011 වසරේ පළමු පෙළ ජාත්‍යන්තර බොක්සිං තරග විනිසුරුවරියක ලෙස උසස්වීම් ලැබුවාය.
2011 වර්ෂයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලියක් විනිශ්චය කළ පළමු කාන්තා විනිසුරුවරිය ලෙස ඇය ඉතිහාස ගත වී ඇත.
මෙම නිලධාරිනිය ඉහත තරඟාවලියේදී දැක්වූ දක්ෂතා මත 2011 වර්ෂයේදීම ලන්ඩන් නගරයේ පැවති ඔලිම්පික් පූර්ව තේරීම් තරඟාවලියට සහභාගී වීමට වරම් ලබා ඇති අතර එහි දෙවැනි දිනම අන්තර්ජාතික දෙවැනි පෙළ විනිසුරුවරියක ලෙසද උසස්වීම් ලැබුවාය.
2013 වසරේ ඉතාලියේ කතානියා නගරයේ පැවැති බොක්සින් තරඟ තීරක විනිසුරු විභාගයෙන් සමත්ව අන්තර්ජාතික තුන්වන පෙළ විනිසුරුවරියක ලෙස උසස්වීම් ලැබූ ඇය බොක්සිං විනිසුරු දිවියේ ලද හැකි ඉහළතම තලය ලබාගෙන ඇති දක්ෂ නිලධාරිනියකි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ පමණක් නොව අග්නිදිග ආසියාවේ සහ දකුණු ආසියාවේ පළමු තුන්වෙනි පෙළ කාන්තා බොක්සිං විනිසුරුවරියක් වීමේ ගෞරවයද ඇය හිමිකර ගෙන තිබුණාය.
කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙල්කා ශිරෝමාලා නිලධාරිනිය මේ වන විට ලෝක ශුරතා පිරිමි බොක්සිං තරගාවලිය, ලෝක ශුරතා කාන්තා බොක්සිං තරගාවලිය සහ යොවුන් කාන්තා සහ පිරිමි ලෝක ශුරතා බොක්සින් තරඟ වලින් රැසක්ම විනිශ්චය කර ඇති අතර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය විනිශ්චය කිරීම සඳහා සහභාගි වූ ප්‍රථම කාන්තා නියෝජනය වීම ද විශේෂත්වයකි.
යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලිය ඔලිම්පික් තේරීම් තරඟාවලි ආසියානු මහද්වීප බොක්සිං තරගාවලිය, අග්නිදිග ආසියානු බොක්සිං තරගාවලිය සහ වෙනත් විවිධ ජාත්‍යන්තර බොක්සිං තරගාවලි රැසක් විනිශ්චය කරමින් ශ්‍රී ලංකාවට මෙන්ම ශ්‍රී ලංකා පොලිසියට ද ඉමහත් ගෞරවයක් ගෙන දීමට ඇය සමත් වූවාය.
2017 වසරේ ආසියාවේ දක්ෂතම බොක්සිං විනිසුරුවරයාට හිමි සම්මානයද ඇය විසින් හිමිකරගෙන ඇති අතර එය ආසියානු කාන්තාවක් විසින් දක්ෂතම බොක්සිං විනිසුරු සඳහා සම්මානයක් ලබා ගත් පළමු අවස්ථාවද වේ.
1169 Views
Comments