ළිඳට වැටුණු බෝලය දරුවා මරු තුරුළට යවයි

මැදිරිගිරිය, කුසුම්පොකුණ ප්‍රදේශයේ වයස අවුරුදු 09ක පිරිමි දරුවෙකු අනාරක්ෂිත ළිඳකට වැටී ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි මැදිරිගිරිය පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් තිබෙන්නේ ඒච්.කේ සමන්ත කවිඳු සඳරුවන් කුමාර නමැති කුසුම්පොකුණ ප්‍රාථමික විද්‍යාලයේ හතරවන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දරුවෙකි.
දරුවන් තිදෙනකු සිටින පවුලේ දෙවැනියා දරුවා මෙලෙස මියගොස් තිබේ.
මෙම දරුවා මීට දින දෙකකට පමණ ඉහතදී සෙල්ලම් කරමින් සිටි බෝලය නිවස පිටුපස තිබූ ළිඳට වැටී ඇත.
දරුවා ඒ බව තම පියාට පවසා එය ගොඩට ගෙන දෙන්නැයි අවස්ථාවන් කීපයකදී ඉල්ලීම් කර ඇතත් පියාට එය අමතක වී තිබේ.
මව බාල සොහොයුරා සමඟ අසල්වාසී නිවසකට පිටව ගිය අවස්ථාවේ මෙම දරුවා ළිදේ වැටී තිබූ බෝලය ගැනීමට උත්සහ කල අවස්ථාවේදී මෙම අනතුරට මුහුණපාන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
දරුවා අතුරුදහන්ව සිටියදී මවුපියන් සහ අසල්වාසීන්ද සමඟ දරුවා පිළිබඳව සොයා බලා ඇතත් සොයාගැනීමට නොහැකි නිසා මැදිරිගිරිය පොලිසියට මේ බව දැනුවත් කර තිබේ.
මේ අතර ළිඳට වැටුණ බව පැවැසූ බෝලය මිදුලේ තිබෙනු දැක ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේදී ගෙවත්තේ අනාරක්ෂිතව බැඳ තිබූ ළිදේ වැටී සිටි දරුවාගේ සිරුර රාත්‍රී 7.00ට පමණ සොයාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
763 Views
Comments