පෙම්වතාගේ විපත සැළවී පෙම්වතිය රංසෑගොඩ ගඟට පැන දිවි තොර කර ගනී - නිල්වලා කොමළියේ ඇයි මෙතරම් කුරිරු වුණේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
29

පෙම්වතාගේ විපත සැළවී පෙම්වතිය රංසෑගොඩ ගඟට පැන දිවි තොර කර ගනී - නිල්වලා කොමළියේ ඇයි මෙතරම් කුරිරු වුණේ

පෙම්වතාගේ විපත සැළවී පෙම්වතිය රංසෑගොඩ ගඟට පැන දිවි තොර කර ගනී - නිල්වලා කොමළියේ ඇයි මෙතරම් කුරිරු වුණේ

අතුරුදහන් වූ සිව්දෙනාගෙන් මනුෂ්ක යෝෂාන් ගේ සිරුර ඊයේ දවල් වනතුරුත් හමුවූයේ නැති අතර ඔහුගේ පෙම්වතිය වූ කඹුරුපිටිය මීපාවිට පදිංචිව සිටි විසි හැවිරිදි අශානි හංසිකා ඇයගේ නිවස පහලින් ගලා බසින රංසෑගොඩ ගඟට පැන දිවි නසාගෙන ඇති බව කඹුරුපිටිය පොලිසිය පවසයි.

 

අනේ මගේ පුතාට වෙච්ච දේ තවත් දරුවෙකුට නම් වෙන්න එපා. කොහේ යනවද කියල අපිට කියල ගියා නම් කමක් නැහැ.

 

ගෙදරින් පිටවෙච්ච දරුව ගඟට බිලිවෙලා කියල ආරංචිය තමයි අපිට අහන්න ලැබුනේ.

 

ම තරුණ දරුවන්ගෙන් ඉල්ලන්නෙ කවදාවත් අම්ම තාත්තට පිටුපාල ඒගොල්ලන්ට අකීකරු වෙලා කොහේවත් නොකියා යන්න එපා. මේ මගේ මිනිබිරී කවදහරි කෝ මගේ තාත්ත කියල ඇහුවම මම මොකක්ද දෙන උත්තරේ… අයියෝ… කාටවත් කවදාවත් මේවගේ විපතක් වෙන්න එපා ….

 

පුතෙකුගේ වියෝව දරාගත නොහැකිව හඬන පියෙකු ගේ ශෝකය නිවාලන්නට හැකිවන්නේ කා හට ද?



මේ එක පියෙකු ගේ කතාවක් නොවේ. සමස්ත සමාජයේම සිටින දරුවන්ගේ මවුපියන්ට සහ දරුවන්ට ආදර්ශයක් ගත හැකි දරුවන් හිතුමතේ සිදු කරන කටයුතු නිසා සිදුවූ සිද්ධියක සෝචනීය කතා පුවතක තවත් එක් සිද්ධියක් පමණි .



පසුගිය සිකුරාදා (25 දා) අකුරැස්ස පෝරුතොට ඌරුවල වත්ත ලිපිනයේ පදිංචිව සිටි වැලිගම ලෝඩ්ස්ටාර් පෞද්ගලික ආයතනයේ රැකියාවේ නියැලෙමින් සිටින මලිත උදයංග සිය මාසිකව උපයාගන්නා වැටුප ද රැගෙන ඔහුගේ යහළුවන්ට කතා කලේ පෝරුතොට ගම්මානයේ පිහිටි සිය නිවසට පැමිණ සතුටුවී ආසන්නයේ හැඩවෙමින් ගලා යන නිල්වලා ගං කොමලිය ගේ දිය දහරා ගලායන දෙහිගස්ප හඬන කට ඇල්ලේ ජල පහසද විඳ හොඳ ආහාර වේලකුත් භුක්ති විඳ නැවත නිවෙස් වෙත යාමට පුළුවන් බව කියමිනි .

 

ඉන් පසු දින (27 දා) දහවල් කාලය වනවිට විවිධ ප්‍රදේශයන්හි සිට පෝරුතොට නිවසට පැමිණි දහතුන් දෙනෙකුගෙන් යුතු සිය සගයන් පිරිස මලිත විසින් පිළිගනු ලැබූවේ ඉතාමත් සතුටිනි. ඔහු විසින් සිය පදිංචි නිවසට ආසන්න තම පියා විසින් මිලට ගත් ඉඩමේ පිහිටි වසා දමා තිබෙන පාළුවට ගොස් ඇති නිවෙස ඔවුන්ගේ විනෝදය පිණිස තෝරා ගැනීමට කටයුතු කලේ කලින් සකස් කරගත් මස් මාංශ බුදිමින් ගෙනවිත් තිබූ මත් වතුර ද පානය කිරීමට කාගේවත් බාධාවක් නොවන නිසාවෙනි.



හොදින් කාබී විනෝද වූ ඔවුන් ගේ කීප දෙනෙකු කියා සිටියේ ගඟට ගොස් නාගෙන විත් දවල් කෑම කමුයි කියාය. එහෙත් දෙතුන් දෙනෙකුගේ ප්‍රකාශය වූයේ හවස් වෙන්න කලින් කාල බීල ගෙවල්වලට යමුයි යන අදහසයි.


තරුණ වයසට සිතෙහි හට ගන්නා සිතිවිලි දැඩිය එමෙන්ම ශක්තිමත් ය. මත් වතුරද ඔවුන්ගේ ශරීරය ප්‍රබෝධමත් කලා වැනිය. කීප දෙනෙකු ගේ මුවින් පිට වූයේ මෙච්චර දුර ආ එකේ නාලම කමු කියාය. එම අදහසට බාධා කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවූයේ ඇඟේ පතේ වෙහෙසකාරී බව සහ දහදිය නිවා ගැනීමට හොඳම දේ නිල්වලා ගඟට ගොස් නෑමෙන් ඒ සියල්ල නිවී යන බව සිතූ බැවිනි.



නිල්වලා ගඟ අසලට පැමිණි පිරිසෙන් මුලින්ම දියට බැස්සේ ලහිරු නිම්සර යි. ඔහු පැමිණි පිරිස සමග සේවයේ නියුතු වූවකු නොවේ. පීනීමට ද දක්ෂයෙක් වූ ලහිරු ගඟේ මෙහා කොනේ සිට එහා කොනට පීනා ගියේ තම දක්ෂතාව අන් අයටද ප්‍රදර්ශනය කරමිනි. ගඟේ එහා කොනට පීනමින් සිටි ලහිරු ට ගඟේ ජල පහර එකවිටම වැඩිවී තමන් ඉදිරියට තල්ලු වෙන බව දැනිණි. ඉක්මනින් එගොඩ පීනූ ඔහු ගඟට පහත් වී තිබූ කොට්ටම්බ ගසක අත්තක් අල්ලාගෙන එහි එල්ලුනි.

 

සිදුවී ඇත්තේ කුමක්ද කියා හිතාගන්නවත් ගඟට බැස සිටි පිරිසට වෙලාවක් නොවුණි. වැඩිවූ ජල පහර සමග ගඟ මැදට ආසන්නයේ දිය නාමින් සිටි තරුණයන්ට කරකියා ගත හැකි යමක් නොවීය. ඉන් එක් අයෙකු  ගසාගෙන යන විට ඔහු බේරා  ගැනීමට ආ පිරිසෙන් සිව්දෙනෙකු ඉහළින් ආ ජල කඳට හසුවී ඉදිරියට ඇදී යමින් ඔවුන්  ගං පතුලේ සැඟවිනි. ගං ඉවුරේ ආසන්නයේ නාමින් සිටි අය ඉක්මනින් ගොඩවන්නට විය.



සියලු දෙනා අවටින් උපකාර ඉල්ලා කෑගසන්නට වූයෙන් ගමේ පිරිස කඩිනමින් එම ස්ථානයට රොක් විය.



ගඟේ ජල පහර එකවිටම වැඩිවූ කරුණ සියලු දෙනාට අවබෝධ වන විට සියල්ල සිදුවී හමාරය. වැසිබර කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉහළ ප්‍රදේශයන්ට ඇතිවූ අධික වර්ෂාපතනය හේතුවෙන් පහලට ගලාගෙන ආ ජල කඳට පිරිස හසුවූ බව තේරුම් ගැනීමට එම ස්ථානය ට පැමිණි සිටි පිරිසට එතරම්ම වෙලාවක් ගත නොවීය.



එහා ගොඩට පීනා ගිය ලහිරු නිම්සර තවමත් කොට්ටම්බ ගසේ එල්ලී ආධාර ඉල්ලා කෑගසන අයුරු දුටු ගම්වැසියන් ඔහු කඹයක ආධාරයෙන් මෙගොඩට ගෙන ආවේ මහත් පරිශ්‍රමයක් දරමින් බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.



අකුරැස්ස පෝරුතොට  ගම්මානය අසල නිල්වලා ගඟේ අඬනකට ඇල්ල සීමාවේ සිදුවූ මෙම අවාසනාවන්ත සිද්ධිය සැළවූ සැනින් එම ස්ථානය වෙත පැමිණි පිටබැද්දර පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක සුරංග ජයතුංග මහතා ඇතුළු නිලධාරීන් මෙන්ම ගම්වාසීන් හැන්දෑ වනතුරුත් ගඟ සීමාවේ පරීක්ෂා කළත් සැඩ පහරට හසුවූ පිරිස ගැන තොරතුරක් සොයා ගැනීමට නොහැකි විය.

 

පසුව ප්‍රධාන පොලිස් පරීක්ෂක සුරංග ජයතුංග මහතා නාවික හමුදාවේ සහය ලබා ගැනීමට තීරණය කළෙන් පිරික්සුම් කටයුතු පසු දිනට කිරීමට කල් දැමූවේ රාත්‍රිය උදාවූ බැවිනි.



27 වනදාට හිරු පහන් වූයේ සියලු දෙනාගේ ශෝකය ගෙන එමින්ය. අවට පරිසරයේ නිහඬ බව රැය පහන් කරමින් තරුණයන් ගිලී ගිය ස්ථානයේ ඔවුන් නැවත දකිනු රිසියෙන් සිටි ඔවුන්ගේ ඥාති හිතවතුන් ගේ සිත තවත් පාරන්නා සේය. හිරු පෑවුවත් අවට පරිසරය අඳුරින් පිරී තිබුනේ වැහිබර වළාකුලින් අහස්ගැබ වැසී තිබුන නිසාවෙනි. එම පරිසරයේ හැඩ ගැස්ම දිහා බලන ඕනෑම කෙනෙකුට සිතෙන්නේ මිනිසාට දැනෙන වේදනාව පරිසරයට ද දැනී ඇති බවය.



උදෑසන ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරේ නිලධාරින් විසින් සිදු කරන අතුරුදහන් වූ තරුණයන් ගේ සිරුරු සොයා කරන මෙහෙයුම් කටයුතු වෙනුවෙන් පිටබැද්දර පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුරංග ජයතුංග මහතා ඇතුළු නිලධාරීන් ද සහභාගි වූ අතර එම ස්ථානය අතුරුදහන් වූ තරුණයන්ගේ ඥාතීන් හිතවතුන් සහ ගම්වාසීන්ගෙන් මෙන්ම අවට ප්‍රදේශවල ජනතාව ද පැමිණීමෙන් එකම හිස් ගොඩක් බවට පත් විය. ගාල්ල දක්ෂිණ නාවික හමුදා නිලධාරීන් කරන ලද මෙහෙයුම් කටයුතු වලදී අතුරුදහන් වූ තරුණයන් සිව්දෙනාගෙන් දෙදෙනෙකු ගේ නිසල වූ දේහයන් සොයා


ගන්නා ලද අතර නාවික හමුදා කිමිදුම් කණ්ඩායම සිය මෙහෙයුම් කටයුතු සවස් වනවිට අතරමග නවතා දැමීමට සිදුවූයේ ජලයේ සිටීමට ඔවුන් ට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ප්‍රමාණවත් නොවූ හෙයිනි. පසුව ගම්වාසීන් විසින් ද මෙම මෙහෙයුම් කටයුතුවලට එක් වූයේ ගං පතුල මෙන්ම ගඟේ ජල පහරද ඔවුන් ට හුරුපුරුදු නිසාවෙනි. ගම්වාසීන් ගේ මෙහෙයුම් කටයුතුවලදී තවත් එක් තරුණයෙකු ගේ සිරුරක් සොයා ගැනීමට හැකිවිය.



රාත්‍රි කාලය උදාවූ හෙයින් එම දින මෙහෙයුම් කටයුතු නවතා දැමීමට තීරණය කලේ එතෙක් එම ස්ථානයේ රැඳී සිටින දෙයියන්දර ප්‍රදේශයේ සිට පැමිණ අතුරුදහන් වූ මනුෂ්ක යෝෂාන් ගේ ඥාතීන්ට පසු දිනට බලාපොරොත්තු තබමිනි.



මෙලෙස අකුරැස්ස පෝරුතොට ප්‍රදේශයේ දී නිල්වලා ගඟට බිලි වූයේ අකුරැස්ස පෝරුතොට ඌරුවල වත්ත පදිංචි කේ. මලිත උදයංග, දෙයියන්දර සීනිපැල්ල නැගෙනහිර එල්.ජී. මනුෂ්ක යෝෂාන්, වැලිගම බටවල ශ්‍රී නිවසේ පදිංචි ජයසංක නිලක්ෂන සිරිවර්ධන, අහංගම දඩුහැල රසතොල්ල වත්තේ පදිංචි එක් දරු පියෙකු වන ඩබ්. ශෂික දිල්ශාන් යන අයවලුන් වේ.

views

354 Views

Comments

arrow-up