අලවංගුවකින් ගසා බිරිඳ සිය සැමියාව මරා දමයි

වැලිගම, බටවල හන්දියට ආසන්න විජයාරාම පාර, වල්ලිවල, වැලිගම ලිපිනයේ පිහිටි නිවසක් තුළදී පෙරේදා(20) අළුයම බිරිඳ විසින් සැමියාගේ හිසට අලවංගුවකින් පහරදී ඔහු ඝාතනය කර සිය බාල දරුවන් දෙදෙනා සමග නිවසින් පළාගොස් ඇති බව වැලිගම පොලිසිය කියයි.
බිරිඳගේ පහරදීම හේතුවෙන් මෙලෙස මියගොස් තිබෙන්නේ වල්ගම වෙල්ලාලගේ අරුණ ප්‍රියශාන්ත නමැති 50 හැවිරිදි සිව්දරු පියෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් මියගිය අයගේ බිරිඳ සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මියගිය අයගේ නෑදෑයන් පවසන ආකාරයට මෙම නිවසේ නිතරම පවුල් ආරවුල් ඇති වන අතර දරුවන් සිව්දෙනාගෙන් දෙදෙනෙකු මියගිය පුද්ගලයාගේ සහෝදරයාගේ නිවසේ ජීවත්වන වෙයි.
ඝාතනය සම්බන්ධයෙන් සැකකාර කාන්තාව බාල දරුවන් සමඟ ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඇය සොයා වැලිගම පොලිසිය විමර්ශනවලින් පසු ගාල්ල මිහිරිපැන්න ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය වැඩිදුරටත් පවසයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් වැලිගම පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩී. එම්. අබේසේකර මහතාගෙන් කරන ලද විමසීමේදී ඔහු කියා සිටියේ දෙමාපියන් අතර සිදුවූ මෙම ශෝචනීය සිද්ධිය සම්බන්ධයෙන් අසරණ වී ඇත්තේ ඔවුන්ගේ දූ දරුවන් බැවින් සමාජයේ එවැනි ස්ථානවල සිටින දෙමාපියන් ඔවුන්ගේ ගැටලුසහගත තත්ත්වයන් විසඳා ගැනීමට නුවණින් යුතුව ක්‍රියා කළ යුතු බවත් අසරණ වූ දරුවන් ට ඔවුන්ගේ අනාගතයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් යම් වැඩපිළිවෙළක් සකස් විය යුතු බවත්ය.
පොලිස් අත්අඩංගුවට පත් කාන්තාව තම ස්වාමිපුරුෂයා ඝාතනය කිරීමට පෙර දින ඔහු විසින් තමන්ට පහරදීම සිදුකළ බව දන්වා වැලිගම පොලිසියට පැමිණිල්ලක් දමා ඇත.
වැලිගම පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයවයි.
305 Views
Comments