පොලිසියෙන් බේරෙන්න වැවට පැන්න තරුණයා මරු දකී
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
20

පොලිසියෙන් බේරෙන්න වැවට පැන්න තරුණයා මරු දකී

පොලිසියෙන් බේරෙන්න වැවට පැන්න තරුණයා මරු දකී

කුරුණෑගල වැව රවුම ප්‍රදේශයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් පිරිසක් දැක පලා යාමට උත්සාහ කළ තරුණයෙකු කුරුණෑගල වැවේ ගිලී ඊයේ(19) දහවල් මරණයට පත්ව ඇතැයි කුරුණෑගල පොලීසිය කියයි.

 

මියගිය තරුණයා කුරුණෑගල තෝරයාය නාරම්පොළ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අවිවාහක අයෙකි.

 

කුරුණෑගල ලක්දාස් ද මෙල් විදුහල පිටුපසින් පිහිටි කුරුණෑගල වැව් බැම්ම කොටසේ පාගමනින් යමින් ආරක්ෂක කටයුතුවල නිරත පොලිස් නිලධාරීන් පිරිසක් දුටු තරුණයින් දෙදෙනෙකු පලා යාමට පටන් ගෙන ඇති අතර ඒ බව දුටු පොලිස් නිලධාරීන් ඔවුන් දෙදෙනා පසුපස පන්නා ගොස් එක් තරුණයෙකු දැඩි පරිශ්‍රමයක් යොදා අත්අඩංගුවට ගෙන ඇතත් ඔහු පොලිස් නිලධාරීන් සමඟ පොර බදා බේරීමට කුරුණෑගල වැවට පැන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

 

වැවට පැන්න තරුණයා ස්වල්ප වේලාවකින් දියේ ගිලී ඇති අතර සුළු මොහොතකින් එම ස්ථානයට පැමිණ ඇති පොලිස් ජීවිතාරක්ෂක භටයන් පැයක පමණ සෝදිසියකින් පසු දියේ ගිලී සිටි තරුණයා බේරාගෙන ඇතත් ඔහු ඒ වනවිටද දියේ ගිලීමෙන් ජීවිතක්‍ෂයට පත්ව සිටි බව පොලීසිය කියයි.

 

තරුණයා දියේ ගිලු‍නු ස්ථානය අඩි 16ක පමණ ගැඹුරක් සහිත වැවේ ඉතා අවදානම් ස්ථානයක් බව තරුණයාගේ සිරුර ගොඩ ගැනීමට කටයුතු කළ කුරුණෑගල පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායමේ නායක උප පොලිස් පරීක්ෂක වසන්ත බණ්ඩාර මහතා පැවසීය.

 

තරුණයා ගොඩට ගෙන පරීක්ෂා කළ අවස්ථාවේදී ඔහුගේ දකුණු අතේ සිර කරගෙන තිබූ ඊයම් කොළයක දවටන ලද මත්කුඩු සුළු ප්‍රමාණයක්ද හමුවූ බවත් පොලීසිය කීය. 

 

මියගිය තරුණයාගේ සිරුර කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත කුරුණෑගල ශික්ෂණ රෝහලේ පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා යොමු කර ඇත.

views

212 Views

Comments

arrow-up