විශ්වාසභංගයට සජිත් අත්සන් තබයි - මතයේ වෙනසක් නෑ පොහොට්ටු ලේකම් කියයි

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් ලබා ගැනීම අද ආරම්භ වුණා.
සමගි ජන බලවේගය විසින් කතානායකවරයා වෙත මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරියේ දී භාරදීමට නියමිත අතර මේ වන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 22 ක් ඊට අත්සන් තබා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
අදාල විශ්වාසභංග යෝජනාව මගින් උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත්කර ඇති චෝදනා ගණන 10ක්.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා විසින් ලිඛිතව සඳහන් කර ඇති පරිදි අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව උදය බවට දුන් පොරොන්දුව ඉටු නොකිරීම, ඉන්ධන මිල ස්ථාවර කිරීම සඳහා පිහිට වූ අරමුදලට කුමක් සිදු වූයේද යන්න පාර්ලිමේන්තුව සහ ජනතාව දැනුවත් කිරීමට අපොහොසත්වීම, ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව සියලු පාරිභෝජන භාණ්ඩ මිල ඉහළ යාමෙන් covid උවදුරෙන් පීඩාවට පත් ජනතාව තවදුරටත් ආර්ථික වශයෙන් පීඩාවට පත් වීම, යන චෝදනා ඊට ඇතුළත් කර තිබෙනවා.
මේ අතර නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලය පැවති පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවකට එක් වීම සඳහා පැමිණි එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසුවේ ඉන්ධන මිල සම්බන්ධයෙන් තමන් යොමුකළ ලිපිය පිළිබඳව සිය ස්ථාවරයේ වෙනසක් නොමැති බවයි.
1150 Views
Comments