ඉංගිරියේ ලඳු කැලෑවකින් සොයාගත් මළ සිරුරේ අභිරහස එළියට

අතපය ගැටගසා, කටේ පාංකඩ ඔබා ඝාතනය කර ඉංගිරිය නම්බපාන කැටකැරැල්ල පාලම අසල ලඳුකැලෑවක දමා ගොස් තිබියදී සොයාගත් මළසිරුර මිනුවන්ගොඩ ගල්ඔලුව ප්‍රදේශයේ පදිංචිකරුවකුගේ බවට (19) හඳුනාගත් බව ඉංගිරිය පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ලේකම්ලාගේ අශෝක බණ්ඩාර (48) නමැති පුද්ගලයකු බවත්, සිය සුඛෝපභෝගී මෝටර් රථයෙන් කුලී ගමන් යන බවත් පොලිසිය පවසයි.
මොහු ඉකුත් 13 වැනිදා කුලී ගමනක් ගොස් නිවසට නොපැමිණ ඇති අතර, ඔහුගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සොහොයුරා මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි කර ඇත.
ඉකුත් 15 වැනිදා මොහුගේ මළසිරුර ඉංගිරිය නම්බපාන කැටකැරැල්ල පාලම අසල ලඳු කැලෑවක තිබී සොයාගෙන ඇති අතර එම සිරුර නාඳුනන මළසිරුරක් වශයෙන් හොරණ රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
මියගිය අයගේ බාල සොහොයුරා මිනුවන්ගොඩ පොලිසියට කළ පැමිණිල්ලට අනුව පොලිසිය සමග රෝහලට ගොස් පරීක්ෂා කිරීමේදී එම මළසිරුර අනතුරුදන්ව සිටින සිය සොහොයුරාගේ බවට හඳුනාගෙන ඇත.
මියගිය අයගේ බිරිඳ වසර කිහිපයක සිට විදේශගතව සිටින බව ද පොලිසිය පවසයි. කිසියම් පිරිසක් මොහු කුලී ගමනක රැගෙන ගොස් අතරමගදී මෙලෙස ඝාතනය කර සුඛෝපභෝගී මෝටර් රථය, ජංගම දුරකතන ,මුදල් පසුම්බිය කොල්ලකාමළසිරුර මෙම ස්ථානයේ දමාගොස් ඇති බවට පොලිසිය සැක කරයි.
ඔහුගේ සුඛෝපභෝගී මෝටර් රථය, ජංගම දුරකතන, මුදල් පසුම්බිය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු හෙළි වී නොමැත. ඉංගිරිය සහ මිනුවන්ගොඩ පොලිස් ස්ථාන ඒකාබද්ධව පරීක්ෂණ පවත්වයි.
285 Views
Comments