“රට ඉදිරියේ තියෙන්නේ ඩෙල්ටා බෝම්බයක්” - රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
09

“රට ඉදිරියේ තියෙන්නේ ඩෙල්ටා බෝම්බයක්” - රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන

“රට ඉදිරියේ තියෙන්නේ ඩෙල්ටා බෝම්බයක්” - රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන

ශ්‍රී ලංකාව ඉදිරියේ දැන් ඇත්තේ පුපුරා යාමට ආසන්න භයංකාර ”‍ඩෙල්ටා බෝම්බයක්”‍ බවත් ජනතාව පරිස්සම්කාරී නොවූණහොත් එය කොයි මොහොතක හෝ පුපුරා යා හැකි බවත් ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේය.

 

මෙම ඩෙල්ටා නැමැති කොවිඩ් වෛරස් බෝම්බය ඉන්දියාවේ හා ඉන්දුනීසියාවේ පුපුරා ගිය බවද හෙතෙම පැවසුවේය.

 

එහි විනාශය අත්කර ගන්නවාද නැද්ද යන්න සම්බන්ධ තීරණය පවතින්නේ ජනතාව අත බවත් ජනතාව සංචරණය සීමාකර සෞඛ්‍ය නීති නිසියාකාරව පිළිපදිමින් කටයුතු නොකළහොත් එම බෝම්බය තමන්ගේ නිවෙස්වලටද පැමිණිය හැකි බවත් ඔහු අනතුරු ඇඟවා සිටියේය.

 

කොරෝනාවෙන් මරණය වළක්වා ගැනීමට නම් වහාම කොවිඩ් මර්දන එන්නත ලබාගත යුතු හෙයින් ඒ සඳහා වහාම කටයුතු කරන්නැයි සියලු‍ ජනතාවගෙන් ඉල්ලා සිටින බවද මහාචාර්ය ජයසුමන මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

 

තමා අසලට එන කුමන හෝ එන්නතක් ලබා ගැනීම වැදගත් බවද ඔහු පෙන්වා දුන්නේය.

 

එන්නත් ලබා ගැනීමේදීත් ජනතාව සෞඛ්‍ය නීති පිළිපදිමින් කටයුතු කළ යුතු බවත් එසේ නොවුවහොත් එන්නත් පොකුරුද බිහිවීමට බොහෝ සේ ඉඩ ඇති බවත් රාජ්‍ය ඇමතිවරයා පැවසුවේය.

 

ශරීර ප්‍රතිශක්තිය වැඩිකර ගැනීම සඳහා විටමින් සී බහුල පළතුරු ආහාරයට ගැනීම වැදගත් බවත් විටමින් සී පෙති දිනපතා ලබාගත හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

 

ඉඟු‍රු කොත්තමල්ලි දිනපතා දවසට තුන් වරක් පමණ සීනි නොදා පානය කිරීමද ශරීර ප්‍රතිශක්තිය වැඩි දියුණු කරගැනීම සඳහා ඉවහල් වන බවද චන්න ජයසුමන මහතා පැවසුවේය.

views

796 Views

Comments

arrow-up