“අරක්කු කාල” තහනම් කරන්න - දුම්කොළ හා මධ්‍යසාර අධිකාරියේ සභාපති රජයෙන් ඉල්ලයි

මත්පැන් කාලේ බෝතලය නිෂ්පාදනය නතර කළ යුතු බවට මහජනතාව තුළ මතයක් ඇතැයි දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ අධිකාරියේ සභාපති ආචාර්ය සමාධි රාජපක්‍ෂ මහතා සඳහන් කරයි.
ඔහු පවසන්නේ සිය අධිකාරිය විසින් පසුගියදා සිදුකළ මහජන මත විමසුමකට සහභාගි වූ පුද්ගලයන්ගෙන් 72.4% ප‍්‍රමාණයක්ම කාලේ කුප්පිය තහනම් කළ යුතු බව පැවසූ බවයි.
ආචාර්ය සමාධි රාජපක්‍ෂ මේ බව පවසා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
මත්පැන් සහ දුම්වැටි සම්බන්ධව සිදුකළ මෙම සමීක්‍ෂණයට වයස් කාණ්ඩ 3ක් යටතේ 1000 කට අධික පිරිසක් සහභාගි වී තිබේ.
වයස 17 - 30 දක්වා 40% ප්‍රමාණයක්, වයස 31 - 45 දක්වා 35%ක් සහ වයස 45 ට වැඩි 25%ක් පමණ මීට සහභාගිවී ඇති අතර මුළු සමාජයම නියෝජනය වන පරිදි විවිධ අධ්‍යාපන මට්ටමේ පුද්ගලයින් මේ සඳහා දායක කරගත් බව ආචාර්ය සමාධි රාජපක්‍ෂ මහතා පවසයි.
මත්පැන් කාලේ කුප්පිය උග්‍ර පරිසර ගැටලූවක්ව ඇති බැවින් එය තහනම් කිරීමට රජයෙන් ඉල්ලා සිටින ලෙස ගොවි ජනතාව ඇතුළු බොහොමයක් පාර්ශව විසින් තමන්ට පැමිණිලි ලැබෙන බවද ඒ මහතා කියා සිටියේය.
මේ තත්ත්වය අවබෝධ කරගෙන සිටින පරිසර අමාත්‍යාංශයද කාලේ කුප්පිය තහනම් කළ යුතුය යන මතයේ සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලදී.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය මත්පැන් භාවිතය හා ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳ කරුණු අධ්‍යයනය කර නිකුත් කරන ලද ගෝලීය තත්ත්ව වාර්තාව විසින්ද පෙන්වා දී ඇත්තේ මත්පැන් කාලේ කුප්පියෙන් ජනතාව අධික බීමත්කම සඳහා යොමුවන බවයි.
790 Views
Comments