"වෛද්‍ය ෂාෆිට ගෙවන්නට තිබෙන හිඟ වැටුප් සහ දීමනා ගෙවීමට පියවර ගන්නවා" - නීතිපති අධිකරණයට දන්වයි

අසත්‍ය චෝදනා මත අනිවාර්ය නිවාඩු යැවූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එම කාලය තුළ ගෙවිය යුතු හිඟ වැටුප් සහ දීමනා ගෙවීමට පියවර ගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.
වෛද්‍ය ෂාෆි මහතා ගොනුකළ රිට් පෙත්සම අද (23) දිනයේදී සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබ ඇත.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා ෂාෆි මහතාට හිමි විය යුතු මූලික වැටුප, දීමනා, ජීවන වියදම් දීමනා සහ අතුරු දීමනා ආදිය ගෙවීමට පියවර ගන්නා බවට දන්වමින් යොමු කරන ලද ලිපියක් අධිකරණයට ඉදිරිපත් කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා මෙම දැනුම් දීම සිදු කර තිබේ.
මැයි මස 31 වන දා තෙක් පෙත්සම වැඩිදුර සලකා බැලීමට කල් දමා ඇත.
954 Views
Comments