පොලිස් අණ නොතකා ධාවනය වූ යතුරු පැදිය වෑන් රියේ ගැටී දෙදෙනෙක් මරුට

පොලිස් අණ නොතකා පැදවූ යතුරුපැදියක් තණමල්විල - වැල්ලවාය මාර්ගයේ කිතුල්කොටේ හන්දිය ප්‍රදේශයේදී ලොරි රථයකට ඉස්සර කිරිමට යාමේදී ඉදිරියෙන් ආ වෑන් රථයක ගැටී එහි ගමන්ගත් තරුණයින් දෙදෙනකු මරණයට පත්ව ඇතැයි තණමල්විල පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ තිස්සමහාරාමය, උඩමත්තල පදිංචි දහනව හැවිරිදි ඒ. ඩී. නවින් ලක්‍ෂත අතපත්තු දිසානායක සහ සිරිවර්ධන රම්පාලගේ කවිඳු ලක්‍ෂාන් යන දෙදෙනාය.
මොවුන් ගමන්ගත් යතුරුපැදිය වෑන් රථයක ගැටීමෙන් අනතුරුව පෙරළී ගොස් තරුණයින් දෙදෙනා ඉස්සර කරමින් තිබූ ලොරි රථයට යටවී ඇති බවද පොලීසිය පවසයි.
ලුණුගම්වෙහෙර පොලිස් වසමේ ඇල්ලගල හන්දියේදී රාත්‍රී අටත් අටයි තිහත් අතර ලුණුගම්වෙහෙර පොලිස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙක් තිස්සමහාරාම දෙස සිට පැමිණි මෙම යතුරුපැදිය නවත්වන ලෙසට අණ කර තිබේ.
නමුත් පොලිස් අණ නොතකා තණමල්විල දෙසට ධාවනය කර ඇති යතුරුපැදිය මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පොලිස් නිලධාරීන් දෙදෙනා රාජකාරී යතුරු පැදියෙන් පොලිස් අණ නොතකා ධාවනය වෙන යතුරු පැදිය පසුපස හඹා යන අතරතුරය.
ලුණුගම්වෙහෙර රණවර්ණාව හන්දියේ ඇති පොලිස් මාර්ග බාධකයෙන්ද යතුරුපැදිය නැවැත්වීමට උත්සාහ කළද එම අණද නොතකා නොනවත්වා ධාවනය කර ඇති බව තණමල්විල පොලීසිය සඳහන් කරයි.
පොලිස් නිලධාරීන් දෙදෙනා ලුහුබැඳ එන නිසා තරුණයන් දෙදෙනා ගමන්ගත් යතුරු පැදිය අධික වේගයෙන් ධාවනය කර තිබේ.
මෘත දේහයන් තණමල්විල රොහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර තණමල්විල පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
701 Views
Comments