මාසයක් වයසැති ගොයම පොහොර නැතිව මැලවිලා - ගොවීහු පොහොර ඉල්ලා කුඹුරේදීම විරෝ්ධතාවක

ඊයේ (08) ආණමඩුව මහ උස්වැව වෙල්යායේදී ගොවීන් පිරිසක් කුඹුරේ සිටම විරෝධතාවයක නිරත වී තිබෙනවා. ඒ, රජයෙන් ලබාදෙන පොහොර තවමත් ලබා දී නොමැති බව පවසමින්.
තමන් මේ වන විට බීජ වපුරා මාසයකට ආසන්න කාලයක් ගත වී ඇති බවත් නමුත් තවමත් රජයෙන් පොහොර ලබාදී නොමැති බවත් ගොවීන් චෝදනා කරනවා.
මේ විරෝධතාවයට එක් වී තිබුණේ මෙවර යල කන්නයේදී ඉඟිනිමිටිය ව්‍යාපාරය යටතේ කුඹුරු වගා කළ ගොවීන් පිරිසකුයි.
යල කන්නයදී මෙවර කුඹුරු අක්කර 6000ක් පමණ වගා කර ඇති බවයි ඔවුන් පැවසුවේ.
ඉන් අක්කර 2500කට ආසන්න ප්‍රමාණයකට තවමත් පොහොර ලැබී නොමැති බවත් මේ වන විට තම ගොයම මාසයක කාලයක් වයසැති බවත් පොහොර නොමැතිවීම හේතුවෙන් එහි වර්ධනය බාල වී ගොයම සම්පූර්ණයෙන්ම කහපැහැ ගැන්වී විනාශ වෙමින් පවතින බවත් ඔවුන් චෝදනා කරනවා.
මේ පිළිබඳව අදහස් දැක්වූ ඉඟිනිමිටිය H8 ගම්මානයේ එකමුතු ගොවි සංවිධානයේ සභාපති අජිත් සුරේන්ද්‍ර විජේසිංහ මහතා මෙසේ ප්‍රකාශ කළා.
"පොහොර නැතිව අපි දැන් අන්ත අසරණ වෙලා ඉන්නේ. රජය මුලින් කිව්වානම් අපිට පොහොර දෙන්නේ නැහැ කියලා අපි වගා කරන්නේ නැහැ. ලක්ෂ ගාණන් වියදම් කරලා වගා කරලා ගොයම විනාශ වෙන්න දීලා අපි බලන් ඉන්නවා. මේ වන විට මාසයක වයස ගොයමටත් අමතර දින 45 ඉක්මවු ගොයමටත් පොහොර නෑ. අපිත් කැමතියි කාබනික පොහොර වගාවට. නමුත් රසායනික පොහොර දාල හදපු වගාවන් එකපාරම කාබනික කරන්නේ කොහොමද. මේ නිසා මේ පාර වී අස්වැන්න නැතිවෙනවා. මිනිස්සුන්ට රට හාල් තමා කන්න වෙන්නේ. එහෙම නැත්නම් හාල් කිලෝව 200 පනිනවා. මොකද වී නැහැනේ. "
මේ පිළිබඳව පුත්තලම දිස්ත්‍රික් ගොවිජන සේවා සහකාර කොමසාරිස් K.K.S පුෂ්පකුමාර මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ යල කන්නය සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණය පොහොර ලේකම් කාර්යාලයට දන්වා යවා ඇති බවත් අවශ්‍ය ප්‍රමාණය ලැබී නොමැති බවත්ය. ලැබුණු පොහොර ප්‍රමාණය ගොවීන් අතරේ බෙදා දුන් බවත් ඇතැම් ගොවීන්ට පොහොර නොලැබුණේ ඉල්ලූ පොහොර ප්‍රමාණයම නොලැබුණු නිසා බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මහවැව - අමරනන්ද විජේසේකර
1311 Views
Comments