ඉන්ධන බදු ඉවතට – ඉන්ධන මිල ඉහළට ?
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
28

ඉන්ධන බදු ඉවතට – ඉන්ධන මිල ඉහළට ?

ඉන්ධන බදු ඉවතට – ඉන්ධන මිල ඉහළට ?

ඉන්ධන අර්බුදය මග හැරවීම සඳහා ඛනිජතෙල් මත පනවා ඇති බදු වහාම ඉවත් කිරීම ඇතුළු යෝජනා හයක් බලශක්ති අමාත්‍යාංශය ඇමැති මණ්ඩලයට ලබා දී තිබේ.

 

බදු ඉවත් කිරීමෙන් පසුද ඇතිවන අලාභය ආවරණය වන පරිදි ඉන්ධන මිල ඉහළ නැංවීම, පිරිවැය නිරූපිත මිලකරණයක් ක්‍රියාත්මක කිරීම, ඛනිජතෙල් ආනයනය සඳහා විදේශ විනිමය සැපයීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුවට පැවරීම, ඛනිජ තෙල් අපනයන රටවලින් ආනයනය සඳහා ණය පහසුකම් ලබාගැනීම, ඉන්ධන භාවිත සීමා කිරීම සඳහා යෝජනා කර ඇති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම එම යෝජනා අතර වන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

 

වසරක් පුරා ඇමැති මණ්ඩලයට ලිඛිතව හා වාචිකව අදහස් පළ කළද මේ වන විට රටේ ඉන්ධන හිඟයක් මතු වී ඇති බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිලගේ අදහසයි. විදේශීය විනිමය ලබාගැනීම සඳහා සංස්ථාවට රුපියල් හිඟයක් ද මතුව ඇත.

 

එම නිසා හා මූල්‍ය අස්ථාවරත්වය හේතුවෙන් ඉන්ධන ලබා ගැනීමට ලංසු තැබීමට සැපයුම් කරුවන් ඉදිරිපත් නොවීම, සැපයුම්කරුවන් ලබාදෙන ණය කාලය සීමා කිරීම, දැඩි සුරැකුම් ඉල්ලා සිටීම, අත්තිකාරම් ඉල්ලා සිටීම, බැංකු මගින් ණයවර ලිපි විවෘත කිරීම ප්‍රතික්ෂේප කිරීම වැනි ගැටලුවලටද ඛනිජතෙල් සංස්ථාව මුහුණ දී ඇත.

 

තවද ඉන්ධන භාවිතය සීමා කිරීම සඳහා බලශක්ති අමාත්‍යංශය ජනවාරි 24 වැනි දින කළ යෝජනා ක්‍රියාත්මක කරන ලෙසද යළි ඉල්ලා ඇත. වීඩියෝ තාක්ෂණයෙන් රාජ්‍ය ආයතනවල රැස්වීම් පැවැත්වීම, පාසල් කටයුතු සතියකට එක් දිනක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීම, ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීමට ජනතාව පොලඹවන මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීම, වාහන තදබදය අඩු කිරීම සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කිරීම, කාර්යාල ඇරැඹීමේ වේලාව වෙනස් කිරීම වැනි යෝජනා ක්‍රියාත්මක කිරීම සුදුසු බව අමාත්‍යාංශයේ අදහස වී ඇත.

views

627 Views

Comments

arrow-up