“රට බංකොළොත් කියලා කියපු නිසා විදේශ ආධාර ලැබීම නැවතිලා” - ජනපති
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
16

“රට බංකොළොත් කියලා කියපු නිසා විදේශ ආධාර ලැබීම නැවතිලා” - ජනපති

“රට බංකොළොත් කියලා කියපු නිසා විදේශ ආධාර ලැබීම නැවතිලා” - ජනපති

රාජ්‍ය ආයතන අතර ගැටුම් අති කර නොගෙන උපරිම මහජන සේවාවක් සැලසීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවත් මහජන සේවය ඉටු නොකිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් කිසිවිටෙක හේතු ඉදිරිපත් නොකළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

 

රාජ්‍ය නිලධාරීන් නීති හා අණපනත් පලිහයක් කර ගත යුත්තේ ජනතාවට සේවය කිරීමට මිස සමාගම්වලට සේවය කිරීමට නොවන බව ද ජනාධිපතිවරයා පැවසීය.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කළේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.



එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,



රාජ්‍ය නිලධාරීන් කාර්යක්ෂමව ක්‍රියා කළයුතුයි. මට හේතු අවශ්‍ය නැහැ. රාජ්‍ය දෙපාර්තමේන්තු අතර ප්‍රශ්න තිබෙන්න විදියක් නැහැ. රජයක් ලෙස සියලු දෙනා එක්වී ජනතාවට සේවය කළ යුතුයි.

වැවිලි ක්ෂේත්‍රයේ දී ඇතැම් නිලධාරින් අණපනත් පලිහයක් කර ගනිමින් කටයුතු කරනවා. 80 දශකයේ මීට අදාළ පනත සකස් කරන විට මේ පිළිබඳව මා අවධානය යොමු කර තිබෙනවා.

මේ ප්‍රදේශවලින් ෆයිනස් වගාව ඉවත් කරන්න කළින් ඒ පිළිබඳ විද්‍යාත්මක වාර්තාවක් ලබාගත යුතුයි. ඉංග්‍රීසින් මේ රට පාලනය කරන සමයේ ෆයිනස් වගාව තිබියදී තේ වගා කළා. ඒ නිසා සාවද්‍ය මතවලට හසුවන්න එපා. ෆයිනස් වගාව ඉවත් කිරිමට පෙර ඉන් ජල පෝෂක ප්‍රදේශවලට බලපෑම් සිදුවනවාද යන්න විද්‍යාත්මකව සොයා බැලිය යුතුයි.ෆයිනස් වගාව ඉවත් කර ටර්පන්ටයින් වගාවට යොමුවණේ ඇයි. ටර්පන්ටයින් වගාව මගින් ජලපෝෂක ප්‍රදේශ වලට බලපෑමක් ඇතිවෙනවා නම් එම වගාව ඉවත් කරන්න.

මෙම ප්‍රදේශයේ තිබෙන අධ්‍යාපන ගැටළු පිළිබඳ සාකච්ඡා කරන විට ගුරු හිඟය පිළිබඳව සඳහන් කෙරුණා. ගුරු පත්වීම් ගැනීමෙන් පසුව අවුරුද්දක්, දෙකක් යන විට ස්ථාන මාරු ලබා ගන්නවා. පත්වීම ලබා වසර පහක් ගතවනතුරු ගුරු ස්ථාන මාරු ලබා නොදීමට අධ්‍යාපන අමාත්‍යංශයත්, පළාත් සභාවත් එක්ව සාකච්ඡා කර තීරණයක් ගත යුතුයි.

වතු පාසල් සඳහා අලුත් ඉඩම් ලබා ගැනීම පිළිබඳ කළ යෝජනාව සලකා බලා ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරිමට පියවර ගන්නවා.

බදුල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් මහියංගනය ප්‍රාදේශීය රෝහල දිස්ත්‍රික් රෝහලක් බවට පත් කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. ඒ වගේම ගිරාදුරුකෝට්ටේ වකුගඩු රෝහලේ වියදම් සඳහා මුදල් වෙන් කිරීමට අපි කටයුතු කරනවා.

දියතලාව මූලික රෝහල නිසා බණ්ඩාරවෙල රෝහලේ සංවර්ධන කටයුතුවල ගැටළුවක් මතුව තිබෙනවා නම් ඒ පිළිබඳ සොයා බැලීමට පියවර ගන්නවා. බණ්ඩාරවෙල දිසා රෝහල මුලික රෝහලක් බවට පත් කිරීමේ කටයුතු සෞඛ්‍ය අමාත්‍යංශයට පවරන අතර එහිදී මේ කටයුතු සොයා බැලිය යුතුයි.

බදුල්ල පළාත් මහ රෝහල සංවර්ධනය කිරීමට අදාළ ඉඩම් සියල්ල මේ වන විට නිදහස් කර තිබෙනවා. එහි ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන ලෙස මම ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා.

අපේ රට බංකොළොත් බව ප්‍රකාශ කිරීම නිසා දැනට විදේශ ආධාර ලැබීම නැවතී තිබෙනවා. ඒ නිසා බදුල්ල පළාත් මහ රෝහලට අවශ්‍ය උපකරණ සඳහා මුදල් ලබාදීමේ දී යම් ප්‍රමාදයක් සිදු විය හැකියි.

සංචාරකයන් සඳහා හදිසි ප්‍රතිකාර ඒකකයක් එම රෝහලේ ස්ථාපිත කිරීමට ඉදිරියේදී අපි කටයුතු කරනවා. එමගින් විදේශ විනිමය උපයා ගැනීමට හැකියාවක් තිබෙනවා .

views

163 Views

Comments

arrow-up