අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලය විය යුත්තේ ආර්ථිකයට වැඩදායී සහ යහපත් පුරවැසියෙකු බිහිකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව ප්‍රමුඛව සහ කඩිනම්ව ක්‍රියාත්මක විය යුතු කරුණු රැසක් සම්බන්ධයෙන් අද (27) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දීයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.
දීර්ඝ කාලයක සිට රට හමුවේ ඇති ප්‍රධාන අවශ්‍යතාවක් සපුරාලමින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය කෙටුම්පත් කර අවසන්ව තිබෙනවා.
එය ඉදිරි සති කිහිපය ඇතුළත දී ඉදිරිපත් කරන බවයි ජාතික අධ්‍යාපන කොමිසමේ නිලධාරීන් සඳහන් කළේ.
මේ වනවිට පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගය, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පිළිබඳවත් විෂය නිර්දේශ ආවරණය කර ඇති සීමාවන් කෙරෙහිත් විශේෂ අවධානය යොමු කෙරුණා.
සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමේ දී ක්ෂේත්‍ර ගණනාවකින් ලැබුණු සහාය අධ්‍යාපන අමාත්‍යවරයාගේ සහ නිලධාරීන්ගේ පැසසුමට ලක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
පවතින බාධක නොතකා අනාගත දරු පරපුරේ යහපත වෙනුවෙන් බොහෝ පිරිස් ක්‍රියා කළ ආකාරය සමාජයට යහපත් පූර්වාදර්ශයක් සැපයූ බව ජනාධිපතිවරයා සඳහන් කළා.
ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කෙරෙහි දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර පාසලින් පිටව යන දරුවාට කාලය ගත නොකර අනාගතය වෙත පිවිසිය යුතු මාර්ගය නිවැරදිව පෙන්නුම් කරන ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවයි එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා කියාසිටියේ.
පොතපතෙහි කරුණු සිසුවාට ලබාදීමේ ක්‍රමවේදයට සීමා නොවී දරුවා සතුව ඇති හැකියාව සහ දක්ෂතාව උකහා ගනු ලබන වැඩපිළිවෙළක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් ලබාදීමට සූදානම් බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා සඳහන් කළා.
තෝරාගනු ලබන විෂය ක්ෂේත්‍රය කුමක් වුවත් සෑම සිසුවෙකුටම තොරතුරු තාක්ෂණ විෂය හැදෑරීමට අවස්ථාව සැලසෙන පරිදි විෂය නිර්දේශයන් සකස් වීමේ අවශ්‍යතාව මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලැබුවා.
පාසල් සංවර්ධනය, නිල ඇඳුම්, පෙළ පොත් සහ ගුරු පුහුණුව ඇතුළු කරුණු ගණනාවක් කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරුණා.
638 Views
Comments