17 හැවිරිදි පෙම්වතියගේ පෙම බෙදාගන්න බැරිව පෙම්වතුන් දෙදෙනෙක් පොලීසි යයි

17 හැවිරිදි තරුණියක තම පෙම්වතිය කර ගැනීමේ අරමුණින් පසුගියදා පොලිසියට පැමිණි තරුණයින් දෙදෙනකුට තුන්කොන් ප්‍රේමයෙන් පැරදී හිස් අතින් ආපසු යෑමට සිදුවූ බව රක්වාන පොලිසිය පවසයි.
රක්වාන ඕබඩකන්ද ප්‍රදේශයේ තරුණියක් කලකට පෙර ගංගොඩ ප්‍රදේශයේ පෙම්වතකු සමඟ මාසයක පමණ කාලයක් වාසය කර ඇත.
ඒ අතරතුරදී එම ප්‍රදේශයේම විසූ දහඅට හැවිරිදි තරුණයෙකු සමඟද ඇය පෙම් සබඳතාවක් පවත්වා තිබේ.
මෙම තුන්කොන් පෙම් අර්බුදය විසඳාගැනීමට පළමු පැමිණිල්ල රක්වාන පොලිසියට ලැබී ඇත්තේ අලුත් පෙම්වතාගේ මවගෙනි.
ඉන් අනතුරුව පළමු පෙම්වතා විසින් ද එම කාරණය අරභයා පැමිණිල්ලක් සිදුකර ඇත.
මෙම අරුම පුදුම පෙම් අර්බුදය පිළිබඳ අදාළ පැමිණිලි විභාගය සඳහා පෙම්වතුන් දෙදෙනාට අමතරව තරුණියගේ මව සහ ඇයගේ අක්කාද පැමිණ සිටියහ.
එහිදි පැරණි පෙම්වතා පවසා තිබෙන්නේ තමා පෙම්වතිය සමඟ සතුටින් දිවි ගෙවු බවත් නව පෙම්වතා විසින් තම පෙම්වතිය බලෙන් රැගෙන ගිය බවත්ය.
පසුව නව පෙම්වතා සම්බන්ධ පැමිණිල්ලට අදාළව ඔහුගේ මව පවසා ඇත්තේ තම පුතාගේ පෙම්වතිය වෙනත් අයෙකු විසින් තමාගේ පෙම්වතිය බව පවසා රැගෙන යාමට උත්සහ දරන බවයි.
මෙම උභතෝතෝටික ගැටලුව විසඳීමට පෙර පොලිසිය පෙම්වතුන් දෙදෙනා ඉදිරියේ සිටියදී තරුණියගෙන් ඇයගේ අදහස කුමක්දැයි විමසා තිබේ.
එහිදි ඇය පවසා තිබෙන්නේ තමාට වයස අවුරුදු දහඅට වීමට තවත් මාස තුනක් ඇති බැවින් එතෙක් නිවසේ සිට පසුව එක් පෙම්වතෙකු විවාහ කරගන්නා බවයි.
අනතුරුව මෙම තරුණිය විසින් කර ඇති අනුවණකම් පිළිබඳ ස්ථානාධිපතිවරයා විසින් සියලුම දෙනා දැනුවත් කර ඇත.
ඉන්පසු සිදුව ඇත්තේ කිසිවකු බලාපොරොත්තු නොවූ දෙයකි.
එහිදී තරුණිය පවසා ඇත්තේ තමන්ට කිසිදු පෙම්වතෙකු අවශ්‍ය නැති බවත් මව සහ අක්කා සමඟ නිවසට ගොස් සුපුරුදු ලෙස ජිවත් වන බවත්ය.
782 Views
Comments