අඟහරුගේ ඇතිවන භූමිකම්පා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
23

අඟහරුගේ ඇතිවන භූමිකම්පා

අඟහරුගේ ඇතිවන භූමිකම්පා

නාසා හි InSight lander විසින් අඟහරු ග්‍රහයා මත භූ චලනයන් සිය ගණනක් සොයාගෙන ඇති අතර ඒ අතරින් සැලකිය යුතු ප්‍රමාණයේ භූ චලනයන් 20 ක් පමණ වාර්තා වී තිබේ. පෘථිවියේ ඇති වන භූමිකම්පා හා සසඳන විට, අඟහරු ග්‍රහයා මත ඇතිවන මෙම කම්පන ඉතා කුඩා ප්‍රබලත්වයෙන් යුතු වන නමුත් එමඟින් ලද නව දත්ත මගින් විද්‍යාඥයින්ට අඟහරුගේ අභ්‍යන්තරය පිළිබඳ වැඩිදුර අධ්‍යනය කල හැකි වනු ඇත.

 

2018 දී සුපර්සොනික් පැරෂුට්වල ආධාරයෙන් අඟහරු ග්‍රහයා මතට ගොඩබස්වන ලද  InSight lander, 2019  අප්‍රේල් මාසයේ දී අඟහරු ග්‍රහයා මත ප‍්‍රථම භූමිකම්පාව වාර්තා කරන ලදී.

 

 

දැනට එහි ඇති වූ විශාලතම භූමිකම්පා සියල්ලම රිච්ටර් මාපකයේ 3 හෝ 4 ක විශාලත්වයක් වාර්තා කර ඇති අතර එය සාමාන්‍යයෙන් පෘථිවියේදී බරපතල හානියක් සිදු කිරීමට තරම් ශක්තිමත් නොවේ. නමුත් පෘථිවියේ භූමිකම්පා පෘෂ්ඨයට සමීපව සිදු වුවද InSight lander විසින් සොයාගත් අඟහරු ග්‍රහයාගේ භූමිකම්පා පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 30 සිට 50 දක්වා වූ ගැඹුරින් ඇරඹුණු බව පෙනේ. භූමිකම්පාව හට ගන්නා ගැඹුරු වැඩි වන තරමට එමඟින් අඩු  කම්පනයක් ග්‍රහලෝකයේ මතුපිටට දැනේ.

 

පර්යේෂකයන් බලාපොරොත්තු වූයේ ප්‍රමාණයෙන් විශාල භූමිකම්පා අධ්‍යනය කර අඟහරුගේ අභ්‍යන්තරය ගැන වඩාත් සවිස්තරාත්මක දැනුමක් ලබා ගැනීමට වුවත් තවමත් ඊට අවස්ථාව ලැබී නැත. ඒ අනුව දැනට ලැබී ඇති දත්ත අනුව අඟහරු යනු භූ කම්පන අවදානම ඉතා අඩු ග්‍රහලෝකයක් ලෙස සැලකිය හැකි බව මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන විමර්ශකයෙකු වන පිලිප් ලොග්නොන් පැවසීය.

 

 

අඟහරු ග්‍රහයා මත භූමිකම්පාවලට හේතුව ලෙස පර්යේෂකයන් පොදුවේ අනුමාන කරන්නේ ග්‍රහලෝකය දිගු කාලීනව සිසිල් වීමකට ලක් විමයි. එක් එක් භූමිකම්පාවට නිශ්චිත හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර එය විද්‍යාඥයින් හට තවමත් අභිරහසකි. නමුත් ඔවුන් එම ඇති වූ භූමිකම්පාවලින් බොහොමයක් මැන ඇත. 2019 සැප්තැම්බර් 30 දින වන විට අඟහරු මත සුළු භූ චලනයන් 174 ක දත්ත වාර්තා වී ඇත. භූ කම්පන සංවේදකයට අමතරව InSight lander හි අනෙක් විවිධාකාරයේ සංවේදක මඟින් සුළි සුළං දහස් ගණනක් මෙන්ම භූගත පාෂාණ වලින් හට ගන්නා ප්‍රබල චුම්බක තරංගද මැනිමකට ලක් කර ඇත.

 

InSight හි මෙහෙයුම තවත් වසරකට ආසන්න කාලයක් පවතින අතර එම කාලය තුල ද තවදුරටත් පෘථිවියේ සිට අඟහරු ග්‍රහයා පිළිබඳ වැඩිදුර දත්ත රැස් කිරීම සිදු වනු ඇත.

 

 

 

 

 

 

 

 

 

by Sajini Ishanthi

Photo source: Internet

views

924 Views

Comments

arrow-up