රුපියල ගැන මහබැංකු තීරණය කැබිනෙට්ටුවත් දන්නෑ කැබිනෙට්ටුවේ තීරණය මහ බැංකුව දන්නෑ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
09

රුපියල ගැන මහබැංකු තීරණය කැබිනෙට්ටුවත් දන්නෑ කැබිනෙට්ටුවේ තීරණය මහ බැංකුව දන්නෑ

රුපියල ගැන මහබැංකු තීරණය කැබිනෙට්ටුවත් දන්නෑ කැබිනෙට්ටුවේ තීරණය මහ බැංකුව දන්නෑ

විදෙස්ගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට එවන සෑම ඩොලරයකට රුපියල් 38ක් වැඩිපුර ලබා දීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණයත් රුපියල පා කිරීමට මහ බැංකුව ගත් තීරණයත් එකිනෙකට පරස්පර වීමෙන් නොපෑහීමෙන් දැඩි ව්‍යාකූලතාවයක් සමාජයේ මතුව තිබේ.

 

මෙලෙස විනිමය ප්‍රේෂණය සඳහා වැඩි මුදලක් ගෙවීම හා ඩොලරයක විකුණුම් මිල සම්බන්ධයෙන් මෙසේ පරස්පර තීරණ ගෙන ඇත්තේ මහ බැංකුව හා කැබිනට්ටුව සන්නිවේදනයකින් තොරව තීරණ ගැනීමෙන් බව වාර්තා වේ.

 

රුපියල පා කිරීමට මහ බැංකුව පෙරේදා (07) රාත්‍රියේ තීරණය කළ අතර එක්සත් ජනපදය ඩොලරය රුපියල් 230කට නොවැඩි මට්ටමක පවතිනු ඇතැයිද මහබැංකුවෙන් නිවේදනය කෙරුණි.

 

මෙරටට ප්‍රේෂණය කරනු ලබන සෑම ඩොලරයක් සඳහාම රුපියල් 38ක් වැඩිපුර ගෙවීමට ඊයේ (08) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූයේ එවන් පසුබිමකය.

 

ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කර සිටියේ එම ප්‍රශ්නය සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා අද (09) විශේෂ සාකච්ඡාවක් පවත්වා ඒ ගැන පැහැදිලි කිරීමක් සිදුකරන බවයි.

 

පෙරදා කැබිනට් මණ්ඩලය මේ තීරණය ගන්නා විට මහ බැංකුව රුපියල පා කිරීම සම්බන්ධ තීරණයට ප්‍රවේශ වී නොතිබුණු බවත් ඒ වන විට රුපියල් 210ක නිශ්චිත අගයක් ඩොලරයට තිබූ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

 

මහ බැංකුවේ තීරණය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති වරයෙකු වන ආචාර්ය ඩබ්ලිව්.ඒ විජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ එම තීරණය රුපියල පා කිරීමක් නොවන බවත් ඒ පරතරය අඩු කිරීම පමණක් බවත්ය.

 

මහ බැංකුව ගෙන ඇති එම තීරණය මගින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය දැනට පවතින මිලටත් වඩා වැඩි විය හැකි බවද රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය 270 - 280ක් දක්වා වැඩිවිය හැකි බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

 

මහ බැංකුව ගෙන ඇති මෙම තීරණය "නටපු තොවිලෙකුත් නෑ බෙරේ පලුවකුත් නෑ" වැනි තීරණයක් බවද හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා පවසා සිටි අතර මහබැංකු සංචිත මේ වන විට පහත වැටී ඇති බවද පවසා සිටියේය.

 

අදාළ තීරණය වෙළඳපොලේ හැසිරීම ගැන අවධානය යොමු නොකර ආර්ථිකය ගැන නොදැනුවත්කමින් ගත් තීරණයක් බවද ඩබ්ලිව්.ඒ විජේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

 

සිදු කළ යුතුව තිබුණේ නියම වශයෙන් රුපියල පා කිරීමට සැලැස්වීම බවද විජයවර්ධන මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

views

1162 Views

Comments

arrow-up