පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සැත්කම් අර්බුදය පිටුපස තිබූ ඇත්ත කතාව මෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
29

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සැත්කම් අර්බුදය පිටුපස තිබූ ඇත්ත කතාව මෙන්න

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සැත්කම් අර්බුදය පිටුපස තිබූ ඇත්ත කතාව මෙන්න

වෛද්‍ය උපකරණ සහ අත්‍යවශ්‍ය ඖෂධ හිඟ වීම හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සිදු කරන සැලසුම් කළ ශල්‍යකර්ම තාවකාලිකව නතර කිරීමට පියවර ගැනීම සම්බන්ධ ලිපියක් පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහක් ඇති විය.

 

එම ලිපිය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුණ තිලකරන්ත මහතාගේ අත්සනින් යුතුව නිකුත් වී තිබිණි.

 

අදාළ සැත්කම් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ නොමැති වීම හේතුවෙන් ගෙන තිබූ එම තීරණය සම්බන්ධයෙන් සමාජ ජාලයන්හි ඇති වූ කතාබහ ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ද ඇස ගැටී තිබිණි.

 

ඖෂධ නොමැතිකමින් එම රෝහලේ ශල්‍යකර්ම නවතා ඇති බව දැන ගැනීමෙන් තමා කනගාටුවට පත්වූ බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජෙයිශන්කර් මහතා පවසා තිබිණි.

 

ඉන්දියාවට ඒ සම්බන්ධයෙන් උදව් කළ හැකි ආකාරය සොයා බලන ලෙස ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේට දන්වන බව ද ඔහු අදාළ පණිවිඩයෙහි සඳහන් කර තිබිණි. 

 

ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙම මැදිහත්වීමෙන් පසු අදාළ රෝහලේ අත්හිටවූ සැත්කම් යළි ක්‍රියාත්මක වූවා යැයි කතාබහක් ඇති විය.

 

මේ අතර, පේරාදෙණිය රෝහලේ සාමාන්‍ය සැත්කම් අත්හිටුවීමට තීරණයක් ගෙන ඇති බව කිසිදු විටෙක සෞඛ්‍ය අමාත්‍යංශය, ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍යංශය හෝ වෛද්‍ය සැපයීම් ඒකකය දැනුවත් කර නොමැති බව දන්වා ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍යංශය අද (මාර්තු 29) නිවේදනයක් නිකුත් කර ඇත.

 

අදාළ නිවේදනයෙන් සඳහන් කර ඇත්තේ, විදේශ විනිමය ගැටලුවක් පවතින මේ අවස්ථාවේදී රජයේ රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ අඛණ්ඩව සැපයීමට වෛද්‍ය සැපයීම් ඒකකය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ඉතා ම වෙහෙසකර කටයුත්තක නියැලී සිටින බවය.

 

සමාජ මාධ්‍ය හරහා සංසරණය වූ ලිපියේ අත්‍යවශ්‍ය ඖෂධ සහ උපකරණ නොමැතිකම හේතුවෙන් සාමාන්‍ය සැත්කම් නවතා ඇති බව පැවසුව ද රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් අමාත්‍යංශ ලේකම්වරයා කළ විමසීමකදී "නියෝස්ටිග්මින්" නමැති ඖෂධය පමණක් හිඟ බව පැවසූ බව ද එහි සඳහන් වේ.

 

අදාළ ඖෂධ කුප්පි සැපයුම් අංශයේ පවතින බැවින් වහා ම අද උදෑසන පේරාදෙණිය රෝහල වෙත ලබාදීමට පියවර ගත් බව අදාළ ලිපියේ වැඩිදුරට ත් සඳහන් වේ.

 

මේ සම්බන්ධයෙන් වෙබ් අඩවිය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතාගෙන් විමසීමක් කළේය.

 

ඔහු සඳහන් කළේ, රෝහල් වෙත ඖෂධ සපයා ගැනීම සිදුවන්නේ යම් කිසි ක්‍රමවේදයකට වන අතර ඇතැම් අවස්ථාවලදී අත්‍යවශ්‍ය ඖෂධ හෝ ශල්‍යකර්ම සඳහා අවශ්‍ය උපකරණ ආදිය ප්‍රමාණවත් පරිදි නොමැති වීම හේතුවෙන් ශල්‍යකර්ම තාවකාලිකව නවතා දැමීම සාමාන්‍ය සිදුවීමක් බවය.

 

මෙය ද එවැනි අවස්ථාවක් වන අතර රෝහල් අභ්‍යන්තරයේ තුළ දැනුවත් කිරීම සඳහා යවන ලද ලිපියක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වී සංසරණය වීම හේතුවෙන් එය දේශපාලනික කාරණයක් බවට පත්වී ඇති බව ද ඔහු පැවසීය.

 

මෙවැනි තාවකාලිකව සැත්කම් නැවැත්වීම් මින් පෙර අවස්ථාවලදී ද සිදු වී ඇති අතර ඇතැම් විට පවතින විනිමය අර්බුදය හමුවේ අත්‍යවශ්‍ය ඖෂධ සීමාසහිත වීමෙන් ඉදිරියේදී තව ත් රෝහල්වල ශල්‍යකර්ම නවතා දැමීමක් විය හැකි බවද ඔහු සඳහන් කළේය.

 

ඔහු සඳහන් කළේ, රෝහලක ඖෂධ නොමැති සෑම විටෙක ම රාජ්‍ය අමාත්‍යංශය හෝ සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලිපි යැවීමට කටයුතු නොකරන අතර රෝහල් වෙත ඖෂධ ලබා ගැනීම සඳහා ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ හරහා ඖෂධ ගෙන්වා ගැනීමට කටයුතු කරන බවය.

 

මේ වන විට රෝහලේ ඉතිරිව පැවති ඖෂධ භාවිතයෙන් සැත්කම් සිදු කිරීම අද දින යළි ආරම්භ කළ අතර ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍යංශය මගින්ද අවශ්‍ය ඖෂධ ලබා දෙන බවට දන්වා ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

 

රෝහලේ අත්‍යවශ්‍ය ඖෂධ නොමැතිකම සම්බන්ධයෙන් ඔබතුමා සෞඛ්‍ය අමාත්‍යංශයට හරි ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍යංශයට හරි වෛද්‍ය සැපයීම් ඒකකයට හරි දැනුවත් කිරීමක් සිදු කළේ නැද්ද ?

 

"ඖෂධ රෝහල්වලට බෙදා දීම කරන්නේ සිස්ටම් එකක් හරහා. ඒ සිස්ටම් එක හරහා තමයි අපි ඉල්ලීම් කරන්නේ. අපි තාවකාලිකව ඔය වගේ තීරණ ගන්නවා සාමාන්‍යයෙන්. ඒක මේ මොහොතේ දේශපාලනිකව ලොකු දෙයක් වගේ වුණාට පහුගිය කොරෝනා කාලෙ ත් මාස්ක් එහෙම තිබ්බේ නැති නිසා ත් ඒ වගේ සැත්කම් තාවකාලිකව නවත්තලා තිබුණා. මේක ත් එහෙම එකක්. ඖෂධ නැති වුණා ම හැම එකකට ම ඒවාට ලියුම් ලියලා යැවිමක් සිදුවෙන්නේ නෑ. හැබැයි තව ටික දවසක් ගියා ම බලා ගන්න පුළුවන් ඕක රට පුරා ම ගියා ම. ඩොලර් ප්‍රශ්නය ත් එක්ක. ඒක අපේ ප්‍රශ්නයක් නොවේ. ඒක අපේ ඇතුළේ ලෙටර් එකක්. ඒක මේ සෝෂල් මීඩියාවල ගිහින් ලොකු දෙයක් වගේ වුණේ." 

 

මේ වන විට යළි රෝහලේ සැත්කම් ආරම්භ කරලා ද තියෙන්නේ ?

 

"ඒකෙන් පස්සේ ඖෂධ නියාමන අමාත්‍යංශයෙන් අද ම එව්වා අවශ්‍ය ඖෂධ. ඒ වෙද්දි ත් අපේ ස්ටොක් එකක් තියෙනවා හදිසි අවස්ථාවලදි යොදා ගන්න. ඒවා භාවිතයෙන් යළි සැත්කම් කටයුතු අද යළි ආරම්භ කළා. ඒ එවනවා කියලා තියෙන ඖෂධ හෙට වගේ වෙද්දි එයි." 

 

එම ඖෂධ කොපමණ කාලයකට ප්‍රමාණවත්ද ?

 

"කොච්චරක් වගේ එවයිද කියලා හරියට ම දන්නේ නෑ. ඒ නිසා කොච්චර කාලයකට ප්‍රමාණවත් වෙයිද කියලා නම් කියන්න අමාරු යි."

views

990 Views

Comments

arrow-up