අඹතලේ ෂෙඩ් එකෙන් අද පැරණි මිලට තෙල් - හේතුව ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

ඉන්ධන මිල වැඩිවන රාවයෙන් පසව වැඩි ලාභ ඉපයීමේ අපේක්ෂාවෙන් ඉන්ධන සැපයීම අද (24) රාත්‍රීයේ අත්හිටවූ අඹතලේ පිහිටි ඉන්ධන පිරවුම්හලට නැවත අද (24) පෙරවරුවේ සිට පෙර මිලටම ඉන්ධන තොගය අලෙවි කරන ලෙසට බලශක්ති හා විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර නියෝග කොට තිබෙනවා.
ඉන්ධන මිල ඉහළ යන බවට තොරතුරු ලැබීමත් සමඟ මෙම ඉන්ධනහල කල් වේලා ඇතිව වසා දැමීමට එහි කළමනාකරු කටයුතු තිබුණා.
ඒ වන විටත් ඉන් ඉන්ධන ලබා ගැනීම සදහා ජනතාව ඊයේ (23) උදෑසන සිට පැය ගණනාවක් වාහන පෝළිම් වල සිට තිබෙනවා.
කෙසේ නමුත් ඔවුන්ගේ විරෝධයද නොතකා ඉන්ධනහලේ කළමනාකරු විසින් ඉන්ධනහල වසා දැමීමට කටයුතු කර ඇතැයි වාර්තා වන්නේ.
පසුව මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව අමාත්‍යවරයා මෙම නියෝග නිකුත් කොට ඇති අතර ඒ අනුව තෙල් සංස්ථා නිළධාරින්ගේ අධීක්ෂණය මත ඉන් ඉන්ධන පැරණි මිලට අළෙවි කිරීමට කටයුතු යොදා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අමාත්‍ය මට්ටමෙන් විමර්ශනයක් ද ආරම්භ කොට තිබෙනවා.
එසේම ඉන්ධන මිල වැඩිවන රාවයට හදිසියේම වසා දැමු ඉන්ධන හල් පිළිබඳ තොරතුරු අමාත්‍යාංශය වෙත යොමු කරන බවද බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරන්නේ.
810 Views
Comments