ගෑස් නැව් දෙකකට මුදල් ගෙවූ බවට ලිට්‍රෝ වෙතින් ප්‍රකාශයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
17

ගෑස් නැව් දෙකකට මුදල් ගෙවූ බවට ලිට්‍රෝ වෙතින් ප්‍රකාශයක්

ගෑස් නැව් දෙකකට මුදල් ගෙවූ බවට ලිට්‍රෝ වෙතින් ප්‍රකාශයක්

ඉදිරි දින 3න් පසු බාධාවකින් තොරව ප්‍රමාණවත් පරිදි අඛණ්ඩව පෙට්‍රල් ලබා දීමේ කටයුතු සිදුකල හැකි බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසනවා.

 

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ක්‍රිෂාන්ත වික්‍රමසිංහ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඉදිරි දින කිහිපය සඳහා ප්‍රමාණවත් ඩීසල් තොග ද මේ වනවිට රට තුල පවතින බවයි.

 

මේ අතර, ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සිට දිවයින පුරා පිරවුම් හල් වලට ඇනවුම් කර ඇති ඩීසල් තොග බෙදාහැරීමේ කටයුතු මේ වන විට අඛණ්ඩව සිදු කෙරෙන බව ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.

 

එහි සභාපති ශාන්ත සිල්වා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඒ අනුව ඩීසල් පෝලිම් ඉදිරි දින කිහිපය තුල අඩුවී යනු ඇති බවයි.

 

කෙසේ වෙතත්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් රැසක් අදත් වසා තැබුණු අතර බොහෝමයක් පිරවුම් හල් වල අද ඉන්ධන තොග නොලැබීම හේතුවෙන් පිරවුම් හල වසා ඇත යනුවෙන් සටහන් කල පුවරු දක්නට ලැබුණා.

 

විවෘතව පැවති ඉන්ධන හල් වල මෙන්ම වසා තිබුණු ඉන්ධන හල් ඉදිරි පිටද අදත් ඉතා දිගු වාහන පෝලිම් පැවති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

 

එමෙන්ම ඉන්ධන නිකුත් නොකිරීම, පෝලිම් පැනීමේ සිද්ධීන් සහ පෝලිම් වලට පිටතින් පැමිණි පිරිස් වලට ඉන්ධන නිකුත් කිරීම යන කරුණු මුල් කර ගනිමින් ඇතැම් ඉන්ධන හල් වල උණුසුම් තත්වයන්ද වාර්තා වුණා.

 

එමෙන්ම, ගෑස් ලබා ගැනීම සඳහා ද අදත් දිවයින පුරා ගෑස් අලෙවි මධ්‍යස්ථාන ඉදිරිපිට දිගු පෝලිම් පැවතුණා. මේ අතර, ගෑස් නෞකා දෙකක් සඳහා ගෙවීම් සිදුකර ඇති බව ලිට්රෝ සමාගම ප්‍රකාශ කළා.

 

එම සමාගම සඳහන් කළේ ඒ අනුව, ගෑස් මෙටි්‍රක් ටොන් 2800 ක් අන්තර්ගත නෞකාවකින් ගෑස් ගොඩබෑමේ කටයුතු අද රාත්‍රියේ සිදුකිරීමට අපේක්ෂා කරන බවයි.

 

මේ අතර, ඉන්ධන ඇතුළු සම්පත් හිඟය මත රාජ්‍ය වියදම් අවම ගැනීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන රාජ්‍ය නිලධාරින් කාර්යාලවලට කැඳවීම සීමා කරන්නැයි අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කේ.ඩී.එස් රුවන් චන්ද්‍ර, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලා තිබෙනවා.

 

දුරබැහැර සිට සේවයට වාර්තා කරන නිලධාරින් ඔවුන් පදිංචිව සිටින ස්ථානයට ආසන්න සේවා ස්ථානයට තාවකාලිකව අනුයුක්ත කිරීමට අවශ්‍ය බලතල ප්‍රධානීන් වෙත පැවරීම ඇතුළු යෝජනා කිහිපයක් ඔහු ඊට අදාළ ලිපියේ ඉදිරිපත් කර තිබුණා.

views

721 Views

Comments

arrow-up