12ක් - විත්තිය ඇත්තෙන් මනින 12 දෙනාගේ ජූරිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
23

12ක් - විත්තිය ඇත්තෙන් මනින 12 දෙනාගේ ජූරිය

12ක් - විත්තිය ඇත්තෙන් මනින 12 දෙනාගේ ජූරිය

හිතුවක්කාරයා සිය පාසල් ජීවිත කාලෙදි ඇති පදමට වේදිකා නාට්‍ය නරඹා ඇත.මහනුවර ප්‍රදේශයට යම් වේදිකා නාට්‍යයක් පැමිණියේ නම් එය අනිවාර්යෙන්ම වේදිකාගත වූයේ හිතුවක්කාරයාගේ පාසල වූ ශාන්ත අන්තෝනි විද්‍යාලයට අයත් විදුහල් භූමියේම පිහිටා තිබූ ශාන්ත අන්තෝනි රඟහලේය .කොටින්ම කිව්වොත්  ශාන්ත අන්තෝනි රඟහල තුළ වේදිකා ගත නොවූ වේදිකා නාට්‍යයක් එකල නොවූ තරම්ය.අදද මහනුවරට ඇති හොඳම ශාලාව එයයි.හෝල් එක බලා ගත් මුරකාරයාට දන්න සෙල්ලම් සියල්ලම දමා කෙසේ හෝ නොමිලේම  හෝල් එක ඇතුළට රිංගා ගන්නට එකල පාසල් ශිෂ්‍යයන්  වූ අප කෙසේ හෝ  සමත්විය.

පාසැල් කාලේ නාට්‍ය බැලූ පසු වැඩිපුරම වේදිකා නාට්‍ය නැරබුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වල හෙවත් එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේ.එකල වල සතිය නම් කොහොමත් අත ඇරියෙම නැත.වල සතිය පුරාම හොඳ හොඳ වේදිකා නාට්‍ය වේදිකාගත වේ.එකල මගේ මතකය නිවැරදි නම් වේදිකා නාට්‍යයක ප්‍රවේශ පත්‍රයක මිල වූයේ රුපියල් විස්සකි.විදුලි ආලෝකය සමග වල වටේට පත්තු කර තිබූ  විලක්කු  වලින් වලට එක්වූයේ අමුතු චමත්කාරයකි.ඊට අමතරව වල වසා සිටී දැවැන්ත වෘක්ෂයේ අතු පතර මුළු වලම වසාගෙන සිටියේ මහා පියස්සක් ලෙසය.කෝටි ගණනක් වියදම් කර  ඉංජිනේරු තාක්ෂණයකින් වුවද නිර්මාණය කළ නොහැකි එකී පියස්ස  පාපතරයන් ගේ පොරෝ පහරින් විනාශ වූ බවට ශෝකජනක පුවතක් මෑතකදී  අසන්නට ලැබිණි.

 කෙසේනමුත් වලේ වේදිකාගත වූ  විශිෂ්ට වේදිකා  නාට්‍ය  ගණනාවක් අතරින් මගේ වඩාත් සිත් ගත් නාට්‍යයක් වූයේ අතුල පතිරණගේ  12 නම් වේදිකා නාට්‍යයයි.අතුලයි අයියා සමඟ ද හිතවත්කමක් තිබූ නිසාත් උගනිමින් සිටි විෂයට  නාට්‍ය තේමාව සම්බන්ධ වූ නිසාත්  එකී නාට්‍ය මා බෙහෙවින් රස වින්දේය.මීට වසර දෙකකට පමණ පෙර අහම්බෙන් දිනක් අතුල අයියව නාවල ටයිල් කඩේකදී මුණ ගැසිණි.ටයිල් තේරීම් අමතක වන තරමට රසවත් කතාබහකින් අනතුරුව මා මෑත දිනකදී අතුල අයියව දුරබනුවෙන් සම්බන්ධ කරගත්තේ  මා යම්කිසි නිර්මාණයක් පිළිබඳ හෝ පුද්ගලයකු පිළිබඳව ලිවීමට පෙර නිර්මාණ හිමිකරු හෝ එම පුද්ගලයා  දැනුවත් කිරීමේ පුරුද්දක් ඇති නිසාය.

 

"ලියපන් බං උබට ඕනි තොරතුරක් මම දෙන්නම්.script එක හරි ෆොටෝ ගහලා වට්ස් ඇප් එකෙන් එවන්නම් " ඒ සුපුරුදු ලෙන්ගතු කමින්ම කතාවට මුල පිරූ අතුල අයියා "මචං මම අලුත් scriptඑකක් ලියලා තියෙන්න මේ කෙහෙම්මල් situation  එක ඉවරවෙනකල් ඉන්නේ වැඩේට අත ගහන්න "  රස නහර පිනා යන තොරතුරක් ඔහු මාගේ දෙසවනෙහි තැබීය.එය සාර්ථක වේවා යැයි එක සිතින් ප්‍රාර්ථනා කරමි.

කතාවෙන් කතාව 12ක් අමතක වේ.12ක් යැයි කිව්වට එහි ඇත්තටම 13කි.දහ තුන් වෙනියා මුරකාරයාය. අනිත් 12ම ජූරි සභිකයන්ය.දහ තුන් දෙනාම නළුවන් නොව ඇත්ත වශයෙන්ම රංගන පාසැල් යැයි කීවොත් නිවැරදිය.

 

ලක්ෂ්මන් මෙන්ඩිස් ,ධර්මප්‍රිය ඩයස්,ජගත් මණුවර්ණ,ඩබ්ලිව් ජයසිරි,විශ්වජිත් ගුණසේකර ,තුමිදු දොඩන්තැන්න,සමන් පුෂ්ප ලියනගේ ,දයාදේව එදිරිසිංහ,ගිහාන් ඩී චිකේරා,පූජිත ද මෙල්,සංජය හෙට්ටිආරච්චි,සම්පත් ජයවීර,ගාමිණී විජේසිංහ,තරිදු රණේපුර ගේ විශිෂ්ට  රංගනයෙන්ද කසුන් කල්හාරයන්ගේ අපූරු සංගීතයෙන්ද හැඩ ගැන්වූ  එම නාට්‍ය නිර්මාණය ඔබ අනිවාර්යයෙන්ම නැරබිය යුතු නාට්‍ය නිර්මාණයකි .මෙය Sidney  Lumet ගේ අධ්‍යක්ෂණයෙන්ද Reginald Rose ගේ තිර රචනයෙන් නිර්මාණය වූ 12 Angry Men නම් ඉංග්‍රීසි  නාට්‍යයේ සිංහල පරිවර්තනයකි.යූ ටියුබ් අවකාශය තුල ඔබට මෙහි ඉංග්‍රීසි නාට්‍ය නැරඹිය හැකිය. සිංහල පරිවර්තනය තුලින් එම මුල් නාට්‍යයේ අන්තර්ගතයට හා රසවින්දනයට  කිසිම අඩු පාඩුවක් වී නොමැති බව වගකීමෙන් ප්‍රකාශ කරමි.

මිනී මැරුමක් සම්බන්ධ නඩු විභාගයකින් පසුව එම චූදිතයා වරදකරුද නිවැරදිකරුද යන්න තීරණය කරනු වස් ජූරි කාමරයකට රැස්වන  12  දෙනෙකුගෙන් සමන්විත ජූරි  මණ්ඩලයක් එකී තීරණය ගන්නා ආකාරය සමස්ත නාට්‍ය පුරාම දිගහැරේ (ශ්‍රී ලංකාවේ අපරාධ නඩුවක ජරි සභික සංඛ්‍යාව හත්දෙනකු බව පාඨක ඔබට මතක් කර දෙමි)


මුල්ම වටයේදී ජූරි සභිකයන් දොළොස් දෙනාගෙන් එකොළොස් දෙනෙකුම චූදිතයා  වරදකරුවකු බව තීරණය කරන අතර එක් ජූරි සභිකයකු පමණක් චූදිතයා නිවැරදිකරුවකු බව ප්‍රකාශ කරයි.ඔහු එයට කරුණු දක්වා සිටිමින් දෙවෙනි වටයක් සඳහා සිදුකරන යෝජනාවකින් හා තවත් අයෙකු ඔහු නිවැරදිකරුවෙකු බව ප්‍රකාශ කළහොත්  තීරණය යළි සමාලෝචනය කිරීමට ඇතිකරගන්නා සම්මුතියකින් අනතුරුව පැවැත්වෙන ඡන්දයකදී චූදිතයා නිවැරදිකරුවෙකු බව තවත් එක් ජූරි සභිකයකු තීරණය කරයි.ඉන් අනතුරුව මුලින් කී ජූරි සභිකයා  සිය දක්ෂතාවය හා විචක්ෂණශීලී ඥානය උපයෝගී කරගනිමින් වැරදි මාවතක ගිය අනෙක් ජූරි සභිකයන් නිවැරදි මාර්ගයට ගන්නා ආකාරය සමස්ත නාට්‍යය පුරාවටම අපූරුවට වේදිකාගත වේ. 12 ක් නාට්‍යයේ  එම තනි ජූරි සභිකයාගේ චරිතය  විශ්වජිත් ගුණසේකර විසින් රඟ දක්වයි.

 

ජූරි සභිකයන්ගේ ආර්ථික මට්ටම් විවිධය,අධ්‍යාපන මට්ටම් වෙනස්ය,සමාජ මට්ටම් හාත්පසින් එකිනෙකාට වෙනස්ය.මෙනිසා ඔවුන් ප්‍රශ්නයක් දකින ආකාරය විවිධය එම විවිධත්වය තුළ බොහෝ විට සත්‍ය සැඟවීයයි.ධනවතා දුප්පතුන් තම දුප්පත්කම නිසාම ස්වභාවයෙන්ම අපරාධයට යොමුව යොමුව වන්නෙකු ලෙස සිතයි.විවිධ අදහස් ඇති පුද්ගලයන් එකොලොස් දෙනෙකුගේ විවිධාකාර මතයන්  තනි පුද්ගලයෙකු විසින්  වෙනස් කර එක් අරමුණකට රැගෙන ඒම නාට්‍යයේ රඟ දැක්වෙන ආකාරය බලන්න ලස්සනය  .සාමාන්‍ය ජන සමාජයක සිදුවන්නේ  බහුතර මතය කොතරම් වැරදි වුවත් සුළුතර නිවැරදි මතය  යටපත් වීමයි.සුළුතරය විසින් බහුතරය වෙනස් කළ නොහැකි බව සමාජ සම්මතය ලෙස සැලකේ.මෙම නාට්‍යයෙන් ලබා දෙන වැදගත්ම පණිවිඩය වන්නේ  සත්‍යවාදී සුළුතරය තවදුරටත් සුළුතරය ලෙස සැලකිය නොහැකි බවත් තනි පුද්ගලයෙකුට වුවද  මුළු මහත් සමාජයක් වෙනස් කළ හැකි බවත්.

 

වත්මන් සමාජයේ  සමාජ මාධ්‍ය ව්‍යාප්තිය සමග සෑම  පුද්ගලයකුම ජනමාධ්‍යවේදීයෙකු බවට පත්වී ඇත.එම සමාජ මාධ්‍යකරු  තනි පුද්ගලයෙක් ලෙස ගත් විට සමාජයෙන් ඉතාමත් සීමිත නියෝජනයකි.එහෙත් එකී පුද්ගලයාට අතිශය බහුතර සමාජයක් මුළුමනින්ම පාහේ වෙනස් කළ හැක.දේශපාලන අර්බුද , ආර්ථික හා සමාජ අර්බුද ඇති වර්තමානයේ තනි පුද්ගලයාගේ කාර්යභාරය සුඑ කොට තැකිය නොහැක.ටියුනීසියාවේ දේශපාලන විප්ලවය ආරම්භ වූයේ මුහුණු පොතෙනි.අරාබි වසන්තයේ සමස්ත දායකත්වය තනි පුද්ගලයන්ගේ එකතුවකි.තනි පුද්ගලයෙකු ලෙස දූෂණ විරෝධී සටන පටන් ගත් ආමි ආදම් පක්ෂයේ නායක ආනන්ද කේරිජ්වාල් අද දිල්ලියේ මහ ඇමතිය.

 

දර කෝටුවක් පහසුවෙන් කඩා දැමිය හැකි වුවත් එකට තබා මිටියත් බවට පත් කළ විට එය කඩා බිඳ දැමීමට ශක්තිමත් මිනිසෙකුට ආයුධයකින් වත් කළ නොහැක.ගෑස් පෝලිම් වලට ,කිරිපිටි පෝලිම්  වලට,දූෂණයට,වංචාවට,මූලික අයිතිවාසිකම් උල්ලංඝනයට එරෙහිව සමස්තයක් ලෙස දේශපාලඥයන්   ඔබව ගොනාට ඇන්දීමට එරෙහිව හඩ නැගීමට ඔබට අයිතියක් ඇත.තනි පුද්ගලයකු ලෙස වුවද හඬක් ඔබට හඩ නැගිය හැක.ඒ සඳහා තාක්ෂණය දියුණුවත් සමගම  සමාජ මාධ්‍ය නම් පුළුල් වේදිකාවක් ඔබට ලැබී ඇත.අද වන විට  රූපවාහිනි,රේඩියෝ හා පුවත්පත් ඇත්තේ සමාජ මාධ්‍යයට ගව් ගණනක්  පසුපසිනි .

 

මාගේ හඬ ඇසෙන්නේ මට පමණියැයි  ඔබ සිතුවත් ඔබේ හඬට දස දහස් ගණනක් සවන් දෙනු ඇත.ඔබ සිතනා ඍණ මානසිකත්වයෙන් සිතුවානම්  12ක් නාට්‍යයේ අසරණ කොල්ලා එල්ලා මරා දමනු ඇත.එසේ නම් 12ක් ද වේදිකා ගත නොවනු ඇත.

 

 

views

887 Views

Comments

arrow-up