“ලංකාව ළඟින්ම ඉඳන් ආර්ථික අර්බූදයෙන් මිදීමට සහය දෙනවා” - අයි එම් එෆ් සඵත වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
25

“ලංකාව ළඟින්ම ඉඳන් ආර්ථික අර්බූදයෙන් මිදීමට සහය දෙනවා” - අයි එම් එෆ් සඵත වෙයි

“ලංකාව ළඟින්ම ඉඳන් ආර්ථික අර්බූදයෙන් මිදීමට සහය දෙනවා” - අයි එම් එෆ් සඵත වෙයි

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වර්තමාන ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කරමින් සහාය වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙරේදා (23 දා) නිල වශයෙන් නිවේදනය කළේය.

 

ශ්‍රී ලංකාවේ අර්බුදය කාලෝචිත ලෙස විසඳීම සඳහා සහාය වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

 

මේ අනුව 2022.04.18 දින සිට 2022.04.22 අතරතුර කාලයේදී ශ්‍රී ලංකාවේ මුදල් ඇමැති අලි සබ්රි මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස මූල්‍ය අරමුදලේ සහාය ලබන වැඩසටහනක් සඳහා මූලික තාක්‍ෂණික සාකච්ඡා ආරම්භ කළ බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් සමඟ වොෂින්ටන් හි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානයේදී සිදුකළ සාකච්ඡාවලින් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී මසහිරෝ නොසාකි මහතා ඒ බව සඳහන් කරමින් නිල ප්‍රකාශයක් සිදුකර තිබේ.

 

පෙරේදා (23 දා) නිකුත් කළ එම නිල ප්‍රකාශයේ මෙසේද සඳහන් වේ.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික වසන්ත රැස්වීම් අතරතුර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්‍ෂිකා ක්‍රිස්ටලිනා ජෝජියේවා සහ මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වයේ ඉහළ පෙළේ සාමාජිකයන් ශ්‍රී ලංකාවේ මුදල් ඇමැති අලි සබ්රි හා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් ඇතුළු නියෝජිත කණ්ඩායම සමඟ සාකච්ඡා කරන ලදී.

 

ප්‍රධාන වශයෙන් මෙහිදී ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා ගතයුතු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කරනු ලැබීය.

 

මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පත් කර ඇති ශ්‍රී ලංකාව සඳහා වන නියෝජිත කණ්ඩායම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබන වැඩසටහනක් ගැන මූලික සාකච්ඡා සිදුකරන ලදී. එවැනි වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සිදුකරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් මේ සාකච්ඡා සිදුකෙරිණි.

 

මෙම සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික හා මූල්‍ය ප්‍රවණතා, සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා විස්වසනීය සහ ඒකාබද්ධ උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව සහ වර්තමාන ආර්ථික අර්බුදයෙන් දුප්පත් ජනතාවට සහ පීඩාවට පත්ව සිටින අයට ඇතිවන අහිතකර බලපෑම් අවම කිරීම සඳහා ශක්තිමත් සමාජ ආරක්‍ෂණ ජාලයන් හි වැදගතක්ම ද මූලික වශයෙන් සාකච්ඡාවට බඳුන් කරන ලදී.

 

ණය හිමියන් සමඟ සහයෝගි සංවාදයක නිරත වීම සඳහා වන ශ්‍රී ලංකාවේ සැලැස්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම විසින් මෙහිදී පිළිගන්නා ලදී.

 

ශ්‍රී ලංකාවේ ආර්ථික වැඩපිළිවෙළ ගැන ශ්‍රී ලංකාවේ බලධාරීන් සමඟ සමීපව කටයුතු කරමින් ඉදිරියේ ආර්ථික අර්බුදයෙන් මිදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම සහාය වනු ඇත.

views

691 Views

Comments

arrow-up