හසලක ගාමිණී විරුවා දිවිපුදා අදට වසර 30 යි

අලිමංකඩ කඳවුර රැකගන්නට හසලක ගාමිණී රණවිරුවා රට වෙනුවෙන් ජිවිතය පුදා අදට වසර 30 ක් සපිරේ.
ඒ වෙනුවෙන් තබන සටහනක්...
1966 අගෝස්තු 22 වන දා හසලකදී මෙලොව එළිය දුටු ගාමිණී කුලරත්න පිරිමි දරුවන් 5 දෙනෙකු සහ ගැහැණු දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැන්නායි.
වයස අවුරුදු 15ක් වෙද්දී පියා මිය ගිය නිසාම ගාමිණී සහ පවුලේ සියළු දෙනා ජීවිතය සරි කර ගත්තේ දහසකුත් බාධා මැදින්.
1986 දී හමුදා කොප්‍රල්වරයෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක් වන ගාමිණී කුලරත්න රණවිරුවාණන් රාජකාරිය අකුරටම ඉටු කළ විරුවෙකු ලෙස කා අතරත් ප්‍රචලිත වුණා.
නිරන්තරයෙන් රට වෙනුවෙන් කැප වූ රණවිරුවන්ගේ පවුලේ අභීත විරුවෙකු වන්නට අලිමංකඩ කඳවුරට පා තබන දින ඔහු නොසිතන්නට ඇති අදවන් දවසක එම කඳවුර වෙනුවෙන් තමන්ට මෙවන් වීර වික්‍රමයක් කිරීමට සිදුවන බව.
ගාමිණී කුලරත්න ඊට පෙර උතුරේ කඳවුරු කිහිපයක මෙන්ම දකුණේ කඳවුරු කිහිපයකම සේවය කළා.
දිනය 1991 ජුලි 14 වන දායි.
දින කිහිපයක සිටම අලිමංකඩ කඳවුර වනසන්නට මාන බැලූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ඒ වන විටත් ප්‍රබල ප්‍රහාර එල්ල කරමින් කදවුරු භූමිය වෙත කඩා වදිමින් සිටියා.
කදවුර බේරා ගැනීම බරපතල ප්‍රශ්නයක් බව බොහෝ දෙනෙකුට අවබෝධ වී තිබුණත් කර කියා ගත හැකි දෙයක් නොතිබූ අවස්ථාවක් බවට පත්ව තිබුණා.
ගාමිණී රැඳී සිටි අලිමංකඩ කදවුරේ ප්‍රධාන දොරටුවේ බංකරයට යුද ටැංකියක ස්වරූපයට සකස් කළ වෙඩි නොවදින තහඩු වලින් ආවරණය වූ අති ප්‍රබල පුපුරණද්‍රව්‍ය රැගත් එල්.ටී.ටී.ඊ. බුල්ඩෝසරය ලේ පිපාසිත අරමුණින් කඳවුරු භූමිය වෙතට ආසන්න වෙමින් තිබුණා.
ගාමිණී එපා, යැයි බොහෝ දෙනෙකු කෑ ගැසුවත්, කඳවුර බේරා ගැනීමට කළ හැකි එකම දෙය වූයේ බුල්ඩෝසරය වැනසීම බව තේරුම් ගත් ඔහු සහෝදර සෙබලුන්ගේ දිවි රකින්නට ත්‍රස්තවාදීන්ගේ වෙඩි උණ්ඩවලට ද මුහුණ දෙමින් දිවගොස් බෝම්බ දෙකක් දෑතට ගෙන ත්‍රස්ත බුල්ඩෝසරයට ගොඩවුණේ දෙවරක් නොසිතමින්.
මොහොතකින් බුල්ඩෝසරය සුණු විසුණු කරමින් වීරෝධාර නිර්භීත සෙබලෙක් රට වෙනුවෙන් දිවි පිදුවා.
807 Views
Comments