ඥානසාර හිමිගේ “එක රටක් එක නීතියක්” රනිල් ප්‍රතික්ෂේප කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
14

ඥානසාර හිමිගේ “එක රටක් එක නීතියක්” රනිල් ප්‍රතික්ෂේප කරයි

ඥානසාර හිමිගේ “එක රටක් එක නීතියක්” රනිල් ප්‍රතික්ෂේප කරයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සින් ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ප්‍රධානත්වයෙන් පත් කරනු ලැබූ “එක රටක් එක නීතියක්” ජනාධිපති කාර්ය සාධක බලකායේ වාර්තාව නොපිළිගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් හමුවේ ප්‍රකාශ කර තිබේ. 

 

එම වාර්තා සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට අපේක්ෂා නොකරන බවත් ජනාධිපතිවරයා හකීම් හමුවේ පවසා ඇත.


සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයන් අතර පෙරේදා (10) ජනාධිපති මන්දිරයේදී පැවැති සාකච්ඡාවේදී හකීම් එම වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් විමසා ඇති අතර, ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත. 

 

ජාත්‍යන්තරවත් ජාතිකවත් මතභේදයට තුඩුදී ඇති මෙරට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි  කළ යුතු බවත්, අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම වහා නතර කළ යුතු බවත් මෙහිදී හකීම් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

 

නැගෙනහිර පළාත මුල්කර ගනිමින් එක් ජන සමාජයක් ඉලක්ක කර ගනිමින් සිදුවන පුරාවිද්‍යා කැණීම් වහාම නතර කළ යුතු බවද සමාන්තූරෙයි, මුතූර් වැනි පළාත් පාලන ආයතනවල තත්වය උසස් කළ යුතු යැයි ද ජනාධිපතිවරයා වෙත හකීම් යෝජනා කර තිබේ. 

 

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්විය යුතුය. මෙරට දෙමළ, මුස්ලිම් ජනයා සම්බන්ධ ගැටලු‍වලට විසඳුම් ලබාදීමේ දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු අනෙකුත් ප්‍රගතිශීලී දේශපාලන පක්ෂ හා සාකච්ඡා කළ යුතුය. 

 

මහනුවර, නාවලපිටිය ගංවතුර ආපදා තත්වයට පත් ජනතාවට සහන සැලසිය යුතු අතර, එම නගරය වෙනත් ස්ථානයකට රැගෙන යෑම  සුදුසු යැයි ද මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා වෙත වැඩිදුරටත් යෝජනා කර තිබේ. 

views

268 Views

Comments

arrow-up