උත්සවයේදී බෙදාදුන් පරිගණක ආපසු රැගෙන යයි

දුරකථන සමාගමක් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව වලල්ලාවිට දොඩම්පාපිටිය කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන්ට ඉකුත්දා ලබාදුන් ලැප්ටොප් පරිගණක 10කින් පහක් නැවත රැගෙන ගොස් ඇති බවට එම දරුවන්ගේ දෙමාපියන් චෝදනා කරයි.
අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී මතුගම කලාපයේ පාසල්වල ඉගෙනුම් පහසුකම් නැංවීමේ වැඩසටහන යටතේ මෙම ලැප්ටොප් පරිගණක යන්ත්‍ර එම දරුවන්ට ලබාදී ඇත.
එහිදී දරුවන්ට පරිගණක ලබාදීම සහ දරුවන් ඒවා පරිහරණය කරන ආකාරය වීඩියෝගත කිරීමෙන්, ඡායාරූප ගැනීමෙන් පසු ලැප්ටොප් යන්ත්‍ර පහක් යළි රැගෙන ගිය බවත්, ඉතිරිකර ගිය යන්ත්‍ර ද ගුරුවරුන් සිය නිවෙස් වෙත රැගෙන ගිය බවත් දෙමාපියෝ පවසති.
අධ්‍යාපන අමාත්‍යවරයා පමණක් නොව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න, මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ලාල් දිසානායක යන මහත්වරුන් ද මෙම උත්සවයට සහභාගීවී සිටියහ.
මේ සම්බන්ධයෙන් මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ලාල් දිසානායක මහතා පැවසුවේ මතුගම කලාපයේ පාසල්වල ඉගෙනුම් පහසුකම් නැංවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ මෙම පාසලට හිමිවන්නේ ලැප්ටොප් පරිගණක යන්ත්‍ර පහක් සහ එක් ප්‍රක්‍ෂේපන යන්ත්‍රයක් පමණක් බවයි.
දොඩම්පාපිටිය පාසලේ ඉගෙනුම ලබන දරුවන් 51 දෙනා අතරින් 4වන ශේණියේ ඉගෙනුම ලබන තෝරාගත් දරුවන් කිහිපදෙනෙකුට එම යන්ත්‍ර සංකේතාත්මකව ලබාදී දරුවන්ගේ ඉගෙනුම් කටයුතු සඳහා යෙදවීමට ගුරුවරුන්ට භාරදුන් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පාසලට හිමිවූයේ ලැප්ටොප් පරිගණක පහක් පමණක් වුවත් ඒ මොහොතේ එතැන සිටි දරුවන් දස දෙනකුට සංකේතාත්මකව පරිගණක ලබාදුන් බවත් එය වරදවා වටහාගත් දෙමාපියන් ගමෙහි වැරදි මතයක් ඇතිකරමින් යන බවත් ඔහු පැවසීය.
තම දරුවන්ට මේ ආකාරයෙන් හෝ පහසුකම් ලැබීම ගැන දෙමව්පියන් සතුටු විය යුතු බව ද කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා පැවසීය.
804 Views
Comments