ලග්න වලින් කියවෙන ගති ලක්ෂණ - 02

අප පෙර ලිපියෙන් ලග්න 12 න් මුල් ලග්න වන මේෂ හා වෘෂභ ලග්න හිමියන්ගේ ගති ලක්ෂණ පිලිබඳව ඔබ වෙත තොරතුරු රැගෙන ආවා. මෙම ලිපියෙන් තවත් ලග්න දෙකක් පිලිබඳව ඔබට කියන්නට සිතුවා. ඔබත් මෙම ලග්න හිමියන්ගෙන් කෙනෙකු නම් බලන්න ඔබේ ගති ලක්ෂණත් මේ වගේද කියලා.
> මිථුන
මෙම ලග්න හිමියන් උඩගු ස්වභාවයෙන් යුක්තයි. " තියෙන ලොකුකම අහංකාරකම " කියා බොහෝ දෙනාගෙන් දොස් අසන්නටද ලැබේ. ළමාවියේදී කෙට්ටු ගතියට සිටි මොවුන් වයසට යත්ම තරමක් මහත් ශරීරයකට හිමිකම් කියයි. පටන්ගත් වැඩ අතරමග නවතා තව තව වැඩ බදාගෙන කරදරයේ වැටෙයි. පෙන්වන හා දන්නා දේට වඩා නොපෙන්වන හා නොදන්නා දේ වැඩි අතර එය අන්‍යයන්ට සගවා කටයුතු කරයි. නිතර වෙනස් වන සැළසුම් වලින් යුක්තයි. කරන රැකියාවට අමතරව තවත් රැකියා කිරීමට පෙළඹෙයි. ආගම දහමට ගරු කරත් ඕනවාට වැඩිය එයට නැඹුරු නොවේ. තැනේ හැටියට ඇනේ ගහන් ජාමේ බේරා ගැනීමට දක්ෂයෝ වෙති. තමන්ගේ වැඩ තමාම කරගනියි. එහෙත් බළලුන් ලවා කොස් ඇට බාවන්නටද උපන් හපනුන් වෙති. මේ ලග්න හිමියන් වැඩකට යෙදුනොත් මුළු ලෝකයම අමතකය. කෑම බීම නැතත් කරන කාර්යයට හිත යොදයි. ආත්මාර්ථකාමී ගතියක් ඇති මොවුන් හිතවත්කම් පවත්වන්නේ අතේ දුරින් ය. පණ්ඩිත ස්වභාවයකින් යුක්තය. ව්‍යාපාරික කටයුතු වලට දක්ෂ වුවද ලිපි ලේඛනයට අති දක්ෂ වේ. අනුන්ට උපදෙස් දීමට සමතුන් වුවද තමා පිළිපදින්නේ අඩුවෙනි. පෝසතුන් වීමටද හැකියාව ඇති අතර මිට මොලවා ගැනීමට මිස දිගහැරීමට හිත නොදෙන අය වේ.
> කටක
චිත්ත ශක්තියෙන් දියුණු මෙම ලග්න හිමියන් ධන සම්පත් ඉපයීමට දක්ෂයන් වේ එහෙත් ලෝභයෝද වෙති. නිර්භීතකමත් බියගුලු බවත් සම සමව මොවුන්ට ඇති අතර කාහටත් අවවාද අනුශාසනා දෙන කථාවට දක්ෂ පුද්ගලයෝ වෙති. රණ්ඩු සරුවල් වලටත් දක්ෂයෝ වෙයි. එල්ලි එල්ලි රණ්ඩුවට යාම මොවුන්ගේ පුරුද්දයි. කලබලකාරී වේ. කිපෙන සුලුයි. ලොකු ලොකුවට ජීවත් වීමට සිහින දකී. ඇට්ටර ගතිය මෙන්ම කටකාර කමත් එලෙසම පිහිටයි. සහෝදරයන්ට හිතවත් නමුදු ඔවුන්ගෙන් ඇප උපකාර නොලැබෙන තරම්ය. මිතුරන් හිටි හැටියේ සතුරන් වේ. දුරදිග නොබලා කටයුතු කිරීමෙන් පසුතැවිල්ලට හේතු වේ. යම් දෙයක් සිතේ තබාගෙන නිවැරදි අවස්ථාව එනතුරු ඔවුන් මාන බලයි. සැදෑ සමය බොහෝ දුරට හුදකලාව ජීවත් වීමට ප්‍රිය කරයි.
by Kaushalya De Silva
Photo source : Internet
946 Views
Comments