ශ්‍රී ලාංකීය තේ වගාවේ නියමුවාණන්...

ලාංකිකයින් වශයෙන් අපි දිනකට දෙවරක්වත් තේ පානය කිරීමට පුරුදු වී සිටී. ඇතැම් පුද්ගලයන්ට දිනකට හත් අට වතාවක්වත් තේ පානය නොකළහොත් එය අඩුවක් මෙන් දැනේ. ඒ තරමටම ලාංකිකයන් තේ සමග ඇත්තේ සමීප සම්බන්ධතාවයක්. ඔබ තේ කෝප්පයක් පානය කරන අවස්ථාවකදී නිකමටවත් ලාංකීය තේ වගාවේ ආරම්භය පිළිබඳව සිතුවාද. අද අපි ඒ ගැන කතා කරමු.
ශ්‍රී ලාංකීය තේ වගාවේ නියමුවාණන් වන ජේම්ස් ටේලර් 1852 වර්ෂයේ පෙබරවාරි විසි වැනිදා ලංකාවට පැමිණෙන විට වයස අවුරුදු 17 ක්. ප්‍රථමයෙන් කෝපි වගාව ආරම්භ කළ ජේම්ස් ටේලර්, රෝගයක් වැළඳීම හේතුවෙන් විනාශ වූ කෝපි වගාව වෙනුවට 1867 වර්ෂයේදී ලූල්කඳුර වතුයායේ අක්කර 19 ක තේ වගාවක් ආරම්භ කළේය. අදටත් ක්ෂේත්‍ර අංක හත ලෙස එහි අක්කර 5 ක පමණ කොටසක් දැකගත හැකියි. 1837 වර්ෂයේදී ලංකා ආණ්ඩුකාර ස්ටුවර්ට් මැකන්සි ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයෙන් ගෙන්වන ලද තේ ඇට ස්වල්පයක් පේරාදෙණිය උද්භිද උද්‍යානයේ රෝපණය කර තිබේ. එහෙත් මෙරට තේ වගාව ව්‍යාප්ත කිරීමට ඔහුට නොහැකි විය.
ඉංග්‍රීසි පාලකයන් මෙරටට ගෙන්වූ වැවිලිකරුවන්ගේ කෝපි වගාව හා සින්කෝනා වගාවද අසාර්ථක වූ නිසා ඒවා අතහැර දැමූ ඔවුන් තේ වගාවටයි අවධානය යොමු කළේ. ඒ අතරතුර ජේම්ස් ටේලර්ගේ ලූල්කඳුර වතුයායේ තේ වගාව සාර්ථක වී තිබුණි. ඒ නිසාම ජේම්ස් ටේලර් ආදර්ශය භාවිතා කරමින් දිවයින පුරාම තේ වගාව ව්‍යාප්ත කිරීමට වැවිලිකරුවන්ට හැකිවී ඇත. ජේම්ස් ටේලර්ගේ පර්යේෂණ වලට අනුව 1872 වර්ෂයේදී රාත්තල් විසි තුනක් අපනයනය කිරීමටයි හැකි වුණේ. වසර හතළිහක් ශ්‍රී ලංකාවේ ජීවත් වූ ජේම්ස් ටේලර් එකී කාලය තුළ සේවා නිවාඩු ලබා ඇත්තේ එක් දිනක් පමණක් බවද සඳහන්.
ලූල්කඳුර වතුයාය හෙක්ටයාර 1061 ක් වන අතර තේ වගාවට යොදවා ඇත්තේ හෙක්ටයාර 351 ක ප්‍රමාණයක් පමණයි. වතුයාය මුහුදු මට්ටමේ සිට මීටර් 3374 ක් උසින් පිහිටා ඇති ශීත දේශගුණික කලාපයක්. ශ්‍රී ලංකාවේ කඳු නගින්නන්ගේ නිගමන අනුව ගිරිතරණයේ නව වැනි ස්ථානය ලෙස ජේම්ස් ටේලර් ස්මාරකය පිහිටා ඇති kondagala කඳු ශිඛරය හඳුනාගෙන තිබේ. මහනුවර සිට ගලහා මාර්ගයේ කිලෝමීටර් හතළිස් හයක් ගමන් කළ පසුවයි ලූල්කඳුර තේ කර්මාන්ත ශාලාව සහ ස්මාරකය හමුවන්නේ. ජේම්ස් ටේලර් විසින් සිදු කළ සේවාව අප විසින් අගය කළ යුතුමයි. අද වන විට අපි උදේ සවස රස කරමින් තේ පානය කරන්නේ ඔහුගේ සමාරම්භය නිසාවෙන් බව මතක තබා ගත යුතුයි.
By : Sahini Sooriyaarachchi
Photo Source : Internet
2196 Views
Comments