ශ්‍රී ලාංකීය ගෘහ නිර්මාණ කලාවේ පුරෝගාමී ඔහු...

ශ්‍රී ලාංකීය ගෘහ නිර්මාණ කලාවේ හැරවුම් ලක්ෂය ජෙෆ්රි බාවා යි. ඒ බටහිරකරණයට ලක්ව තිබූ ජාතික ගෘහ නිර්මාණ කලාව දේශීය අංග ලක්ෂණ වලින් පිරි කලාවක් බවට පත් කිරීමට ජෙෆ්රි බාවාට හැකි වූ නිසාවෙනි. ඔහුටම ආවේණික වූ හැඩතල අනුව නිර්මාණය වන ඔහුගේ ගෘහ නිර්මාණ කලාව ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා ද ප්‍රචලිත වූවක්. දේශීය අංගලක්ෂණ තමන්ගේ නිර්මාණ තුළට කාවැද්දීම සහ පවතින පරිසරයට අනුව තමන්ගේ නිර්මාණය හැඩ ගස්සවා ගැනීම යන ප්‍රධාන කරුණු හේතුවෙන් ඔහුගේ නිර්මාණ මුළු ලොවම එක ලෙස වැලඳගෙන ඇත. දියවන්නා ඔය මැද ඉදිකර ඇති වත්මන් පාර්ලිමේන්තු ගොඩනැගිලි සංකීර්ණය ජෙෆ්රි බාවාගේ අග්‍රගණ්‍ය කලා කෘතියක්. රටක උත්තරීතර ස්ථානයක් ලෙස දැක්විය හැකියි පාර්ලිමේන්තු සංකීර්ණය සඳහා ජෙෆ්රි බාවාගෙන් ලැබෙන්නේ උත්තරීතර නිර්මාණ දායකත්වයක්.
ජෙෆ්රි බාවා උපත ලබන්නේ 1919 වර්ෂයේදී. 1944 වර්ෂයේදී අධිනීතිඥයෙකු වන ඔහු ඒ සඳහා යොමුවන්නේ ලන්ඩන් මිඩ්ල් ටෙම්පල්හිදී නීතිය හැදෑරීමෙන් පසුවයි. කෙසේ වෙතත් මේ සියල්ල අතහැර දමා අවසානයේ වයස අවුරුදු 38 වන විට ගෘහ නිර්මාණ ශිල්පියෙකු බවට පත් වන්නේ ලොව පුදුම කරවන නිර්මාණ රාශියක් ශ්‍රී ලංකා පොළොව මත ඉදි කරමින්. ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පි ආයතනයේ මූලස්ථානය, රුහුණු විශ්වවිද්‍යාලය, කන්ඩලම හෝටලය, ලයිට් හවුස් හෝටලය, බ්ලූ වෝටර්ස් හෝටලය, බෙන්තොට බීච් හෝටලය, ලුණු ගඟ උද්‍යානය, හිල්ටන් හෝටලය, ගංගාරාම සීමාමාලකය මෙන්ම අකුරැස්ස නිල්වලා විද්‍යාපීඨයද ඔහුගේ හැකියාව ප්‍රත්‍යක්ෂ කරන නිර්මාණාත්මක අංග බවට පත්වී තිබේ. පසුගිය සියවසේ අගභාගයේ දී ගොඩනැගිලි කලාවේ පූර්වාදර්ශයක් වූ ඔහු මෙරටට පමණක් නොව වෙනත් රටවල් සඳහාද නිර්මාණ කර තිබේ. විශේෂයෙන් සංචාරක හෝටල් කර්මාන්තය සඳහා ඔහුගේ දායකත්වය හිමි වූ නිර්මාණ සංඛ්‍යාව තිහක්. ඉන් 18ක් පමණ විදේශීය රටවල් සඳහා නිර්මාණය කරන ලද ඒවා වෙයි. මේ අතරින් ශ්‍රී ලංකාවේ ඉදිකල ප්‍රථම සංචාරක හෝටල් දෙක වනුයේ බෙන්තොට බීච් හෝටලය සහ සෙරෙන්ඩිබ් හෝටලයයි.
විශේෂයෙන් යුරෝපීය සංකල්පය සහ දේශීය සංකල්පය යන කොටස් දෙකම ජෙෆ්රි බාවාගේ ගෘහ නිර්මාණ කලාව තුළ අන්තර්ගත බවයි විද්වතුන්ගේ මතය. එහිදී බොහෝ විට නුවර යුගයේ සහ ගම්පොළ යුගයේ ඉපැරණි ලාංකික කලා අංගද දක්නට ලැබෙන බව ඔවුන් පෙන්වා දෙයි. ස්වාබාවික පරිසරය තමන්ගේ ගෘහ නිර්මාණ කලාවට ඇතුළත් කරගැනීමට බොහෝ විට ඔහු උත්සාහ දරයි. ලෝක ප්‍රකට හෝටලයක් වන කන්ඩලම හෝටලය ඒ සඳහා නිදසුනක් වශයෙන් දැක්විය හැකියි. මෙහිදී ඔහු සිදුකරන්නේ ගොඩනැගිල්ලක් සෑදීමේදී අහිමිවී යන පාරිසරික ඉඩ නැවතත් ගොඩනැගිල්ල තුළම වෙනත් ස්ථානයකින් ලබා දීමයි. මෙම සංකල්පයේ නිර්මාතෘ ඔහු නොවුනොත් එය ශ්‍රී ලංකාවේ ස්ථාපනය කරන්නේ ඔහු විසින්. කණ්ඩලම සංචාරක හෝටලයේ ගෘහ නිර්මාණ සැලැස්ම අධ්‍යයනය කිරීමෙන් ඒ බව මනාව පැහැදිලි කර ගත හැකි වේ. එයට පිවිසෙන ඕනෑම කෙනෙකුට වනාන්තරයක ගතකරන හැඟීමක් දැනෙන්නෙ ඒ හේතුවෙන්. භූ තලයේ ඇති හැඩතල විනාශයට පත් නොකර තම ඉදිකිරීම් සැලසුම් කිරීමටද ජෙෆ්රි බාවා දක්වන්නේ අපූරු හපන් කමක්. රුහුණු විශ්වවිද්‍යාලය ඒ සඳහා කදිම නිදසුනක්. ජෙෆ්රි බාවා අපට විශේෂ වන්නේ ලෝකයට අලුත් දෙයක් ඉදිරිපත් කලාට වඩා ලොව පැවති කලාවක් දේශීය හුරුවකින් ලාංකීය පොළොවේ පැලපදියම් කළ නිසාවෙන්.
By : Sahini Sooriyaarachchi
Photo Source : Internet
2599 Views
Comments