“අපිට උපාධියක් තිබුණට ජීවිතයක් නෑ” - අනුර කුමාර දිසානායක

සැප්තැම්බර් 21 වැනිදා සහතික වශයෙන්ම අපි මේ රටේ සමාජ පරිවර්තනයක් සිදු කරනවා යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා සංවර්ධන නිලධාරී සහ ආශ්‍රිත සේවා නිලධාරී ජාතික සමුළුව අමතමින් ප්‍රකාශකළේය.
එහිදී වැඩිදුරටත් කතා කළ ඒ මහතා මෙසේද පැවසීය. මේ සැප්තැම්බර් 21 වැනිදා සහතික වශයෙන්ම අපි මේ රටේ සමාජ පරිවර්තනයක් සිදු කරනවා. ඔබ අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ ඵලයක්. දීර්ඝ කාලයක් පාසල් ජීවිතයක් සහ විශ්වවිද්‍යාල ජීවිතයක් ගෙවා දැමූ ඔබ අපේ රටේ සමාජ සංවර්ධනයට දායකත්වයෙන් හැකියාවත්, බුද්ධියක් තිබෙන පිරිසක්. නමුත් අපේ සමාජ දේහයත්, ආර්ථික ප්‍රතිපත්තියත් එහි ප්‍රතිඵල නෙළාගන්න අසමත් වී තිබෙනවා. ඔබේ දැනුම, හැකියාව, ඵලදායී ලෙස යොදා ගන්නට අපේ රාජ්‍ය සේවය අසමත් වී තිබෙනවා. මේ සමාජ ආර්ථික දේහයෙන් පිටමං වෙලා ඉන්නේ, ඔබ විතරක් නොවෙයි තරුණ තරුණියන් මේ ආර්ථික දේහයට උකහා ගන්න අසමත් වෙලා තිබෙනවා. මේ ආර්ථික ක්‍රියාදාමය ඇතුලේ බොහෝ පිරිසක් මිනිස් දූවිලි බවට පත් කර තිබෙනවා. ඒ තත්වය තුළ මේ රටේ පුරවැසියාට මේ ආර්ථිකයෙන් සාධාරණය ඉෂ්ට වෙන්නේනේ නැහැ. ආර්ථික ප්‍රතිලාභ, ඔවුන්ට අහිමියි.
සැප්තැම්බර් 21න් පස්සේ අපට පැවරෙන කාර්යයන් අතර ප්‍රධාන කාර්යයක් තමයි ආර්ථික දේහය ශක්තිමත් කොට අපේ රටේ වැඩ කළ හැකි සියලුම පුරවැසියන් රට ගොඩනැගීමට දායක කර ගැනීම. ඒ වගේම මේ අසාර්ථක, පිරිහුණු දේශපාලන ක්‍රමය නව පරිවර්තනයකට ලක් කළ යුතුයි. අපේ රටේ නිෂ්පාදනයේ, අධ්‍යාපනයේ, ආර්ථිකයේ නව පරිවර්තනයක් අවශ්‍යයි. මේ සැප්තැම්බර් 21දායින් පසු මේ සමස්ත දේහයම නව පරිවර්තනයකට ලක්කරන එක තමයි අපේ ව්‍යාපාරයේ අභිප්‍රායය. ඔබ කිසිවෙක් තමන් කරන රාජකාරිය ගැන සතුටින් නොවෙයි ඉන්නේ කියන එක පැහැදිලියි. ඒ නිසා මේ පද්ධතියේම ඇති කරන නව ප්‍රතිෂ්ඨාපනයක් අපිට අවශ්‍යයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බර ගන්නේ සහ අප වෙත පැවරී ඇත්තේ එම කාර්යභාරයයි. මේ කාර්යභාරය ඉටු කිරීමේ මූලික වගකීම ප්‍රධාන අංශ තුනකට පැවරෙනවා. එකක් ඒකට දියුණු සමාජ ව්‍යාපාර තිබෙනවා. අපට ඒ පරිවර්තනය සිදුකර ගන්න එක අසීරු දෙයක් නොවෙයි. එහිදී ඔබට අත්හරින්න බැරි විශාල කාර්යභාරයක් පැවරෙනවා.
සමහරු හිතනවා මේ කඩා වැටීම අවසන් කළ හැක්කේ, රාජ්‍ය සේවය දියකර හැරීමෙන් කියලා නැහැ. යම් කඩා වැටුණු රාජ්‍යයක් ඉන් ගොඩ ගත හැක්කේ, ශක්තිමත් රාජ්‍ය සේවයක් ගොඩනැගීමෙනුයි. මෑතකදී සිංගප්පූරුවේ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශයක් කරමින් කියනවා සිංගප්පූරුව සතුව පවතින ශක්තීන් දෙකක් පිළිබඳව. එකක් සිංගප්පූරුව සතුව තිබෙන විදෙස් සංචිතය. නැතිනම් ඩොලර් සංචිතය. දෙවැනි කාරණය තමයි ඔවුන් සතුව තිබෙන ශක්තිමත් රාජ්‍ය සේවය. ඉන්දියාවේ බැලුවත් වියට්නාමයේ බැලුවත් ඔවුන් අත්පත්කරගෙන තිබෙන ආර්ථික ශක්තියෙන් විශාල ප්‍රමාණයක් රාජ්‍ය සේවයට අයත්ව තිබෙනවා. ඒ නිසා මේ පරිවර්තනයේදී අපේ රටේ රාජ්‍ය සේවය විශාල පංගුවක් හැටියට සලකලා තමයි අපි අපේ සැලසුම් සකස් කර තිබෙන්නේ. ඔබ තුළ තිබෙන ශක්‍යතා කෙරෙහි විශ්වාසය තබලා තමයි අපි මේ පරිවර්තන කාර්යයට අත ගහලා තිබෙන්නේ. අපේ රටේ රාජ්‍ය සේවය තුළ කොච්චර නාස්තිය, දූෂණ සිද්ධ වෙනවාද කියලා අපිට වඩා හොඳින් ඔබ දන්නවා. ඒක නතර කරන්න දේශපාලන ව්‍යුහයෙන් විතරක් බැහැ. ඒක නතර කරන්න රාජ්‍ය සේවයත් වංචා දූෂණවලින් තොර පරිවර්තනයකට රාජ්‍ය සේවය ලක්කළ යුතුයි. ඒ වෙනුවෙන් ඔබත් සූදානම් වන්න. ඔහේ ගලාගෙන යන මේ පවතින සිස්ටම් එකට තවදුරටත් ඉඩ හැරීමෙන් මේ පරිවර්තනය කරන්න බැහැ. පුරුද්දට කරන්නම් වාලේ රාජකාරි කරලා මේ සමාජ පරිවර්තනය කරන්න බැහැ.
අපේ රාජ්‍ය සේවය ශක්තිමත් ලෙස ඉලක්කයකට මෙහෙය වන්න ඕනෑ. ඉලක්ක සහගතව වැඩ කරන්න ඕනෑ. රාජ්‍ය සේවකයටම දැනෙන්න ඕනෑ තමන් කරන වැඩ කොටස අනුව දැන් මේ රට ක්‍රමයෙන් ඉදිරියට යනවා. ඒ සඳහා තමනුත් දැන් දායක වෙලා ඉන්නවා කියලා. පුරුද්දට යන රාජ්‍ය සේවයක් වෙනුවට නිරන්තරයෙන් අලුත් වන, තමන් අත්පත් කර ගන්නා ජයග්‍රහණවලින් නිරන්තරයෙන් සතුටු වන, රටට ජයග්‍රහණයක් ලබා දුන්නාය කියා ස්වයං තෘප්තියට පත්වන රාජ්‍ය සේවයක්, රාජ්‍ය සේවකයෙක් අපිට අවශ්‍යයි.
මිනිස්සු තෘප්තිමත් වෙන්නේ තමන් ලබන වැටුපෙන් හෝ පහසුකම්වලින් පමණක් නොවෙයි. තමන් කරන රාජකාරියෙන් ඵලදායී සේවයක් ඉටුවෙනවා නම්, ඒකෙනුත් ඔහු සතුටු වෙනවා. අපේ පාලනයක් යටතේ අපි ඔබට ඔබේ සුදුසුකම, හැකියාව මත ඉලක්ක සහගත කාර්යයක් පවරනවා. එය නිසි පරිදි ඉටුකරන්න කියා අපි ඉල්ලා සිටිනවා.
2018 අපේ රටට සංචාරකයන් ලක්ෂ 20ක් ආවා. අපි එය කෙටි කලකින් ලක්ෂ 40කට ගෙනියන්න සැලසුම් හදා තිබෙනවා. අන්න එතකොට රාජ්‍ය සේවකයෝ හැටියට ඔබටත් කාර්යභාරයක් පැවරෙනවා. රාජ්‍යයට පැවරෙන වැඩ කොටසින් කොටසක් තමයි ඒ ඔබට පැවරෙන්නේ. අන්න ඒ සඳහා ඔබ සූදානම් වී සිටින්න.
අපි හැම වෘත්තියකටම අදාළ වෘත්තිය පුහුණු පාඨමාලා රාත්‍රී කාලයේදී ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. එහිදී ඔබටත් කාර්යයක් පැවරෙනවා. ඔබේ ගමේ අක්‍රමවත්, විධිමත් නොවන ශ්‍රම බළකාය විධිමත් ශ්‍රම බළකායක් බවට පත් කරන්න ඕනෑ. ඒ සඳහා ඔබේ ගමේ ඔබටත් කාර්යභාරයක් පැවරෙනවා. අපි ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම තිබෙන ශක්‍යතා ගණන් බලලා ඒ ඒ දිස්ත්‍රිකය තුළ කුමන නිෂ්පාදන කාර්යයක් කළ හැකිදැයි බලලා ඒවා පටන් ගන්න සැලසුම් හදා තිබෙනවා. ඒ වගේ දිස්ත්‍රික්ක ඉලක්ක කර ගත්ත සංවර්ධන වැඩසටහන් අපි සැලසුම් කර තිබෙනවා. එහිදීත් ඔබට කාර්යභාරයක් පැවරෙනවා. අපි අපනයන ගම්මාන 1000ක් පිහිටු වීමට සැලසුම් කර තිබෙනවා. එහිදී ඔබ ව්‍යාපෘති නිලධාරියෙක් හැටියට වගකීම් ගෙන කටයුතු කළ යුතු වෙනවා. අපි සැලසුම් කර තිබෙනවා එක දරුවකුවත් අවම සාමාන්‍ය පෙළ විභාගයට වත් පෙනී නොසිට පාසලෙන් එළියට වැටෙන්න දෙන්නේ නැති ව්‍යාපෘතියක්. එය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්ධ වැඩසටහනක්. ඒ පිළිබඳව සොයා බැලීමේ වගකීම් සහගත කාර්යභාරයක්ද ඔබට පැවරෙනවා. අපේ ආණ්ඩුව රටට ඉලක්ක හදනවා. ඔබ වැඩ කරනවා. ඔබ කරන රාජකාරිය ගෞරවයත්, තෘප්තිමත්භාවයකින්, ඉලක්ක සපුරාලමින් වර්ධනය වන එකක් බවට අපේ පාලනයක් යටතේ අපි ඉහළට ඔසවා තබනවා.
294 Views
Comments