තෙල් නැති වෙලාවෙ දුම්රිය අනතුරින් ඩීසල් ලීටර් තොගයක් වතුරේ - (PHOTOS)

රඹුක්කන දුම්රිය ස්ථානයේ නවතා තිබූ ඩීසල් ලීටර් 10,000ක් රැගත් ටැංකියක මාර්ගයේ නවතා තිබූ බලවේග දුම්රියක් තිරිංග බුරුල් වී පසුපසට ධාවනය වීමෙන් හැපීම නිසා තෙල් ටැංකි හිර බරපතළ හානි සිදුවී ඩීසල් ඉවතට ගලාගෙන ගොස් ඇත.
මෙම අනතුරෙන් එම ස්ථානයේ තිබූ බුදු මැදුර සම්පූර්ණයෙන්ම කැඩීබිඳී විනාශයට පත්ව තිබුණි.
අලුයම 02:54 පමණ සිදුවී ඇති මෙම දුම්රිය අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුවන ඇති අතර දුම්රිය මාර්ගයට බරපතළ හානි සිදුව තිබූ අයුරු දක්නට ලැබුණි.
කොලොන්නාවේ සිට පේරාදෙණිය ඉන්ධන ටැංකිය වෙත දුම්රිය ඉන්ධන ප්‍රවාහනය කරන විට රඹුක්කන සිට කඩුගන්නාව දක්වා කඳු සහිත කොටස නිසා තෙල් ටැංකි කීපයක් රඹුක්කන දුම්රිය අංගනයේ නවතා තබා පසුව රැගෙන යාම සාමාන්‍ය සිරිතක් බව රඹුක්කන දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයෙක් පැවසීය.
මෙසේ අනතුරට පත්ව ඇත්තේ එසේ නවතා තිබූ තෙල් ටැංකියකි.
අනතුරෙන් තෙල් ටැංකිය පුපුරා යෑම නිසා ඉවතට ගලා ආ ඉන්ධන රඹුක්කන විවිධ සේවා සමුපාකාර සභාපතිවරයාගේද මැදිහත්වීමෙන් දුම්රිය සේවකයන්ගේ සහාය ඇතිව විශාල ප්‍රමාණයේ බැරල් සහ බූලි කිහිපයකට එකතු කර ආරක්ෂිතව දැමීමට පියවර ගෙන තිබුණි.
පෙරවරු 8.00ට පමණ වන විට කොළොන්නාවේ සිට බවුසර් කිහිපයක් එම ස්ථානයට ළඟා වූ අතර ටැංකිය ඉතිරිව තිබූ ඩීසල් තොගයම බවුසර වලට පොම්ප කරන අයුරු දක්නට ලැබුණි.
මෙම සිද්ධියෙන් දුම්රිය ස්ථානයේ තිබූ බුදු මැදුර කැඩීබිඳී විනාශයට පත්ව තිබුනද එහි තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවට කිසිඳු හානියක් සිදුවී නොමැති බවද දක්නට ලැබුණි.
අනතුර සිදු වූ ස්ථානයේ ආරක්ෂාව සඳහා රඹුක්කන පොලිස් ස්ථානාධිපති කිංස්ලි හේරත් මහතාගේ උපදෙස් පරිදි කණ්ඩායමක්ද යොදවා තිබෙන අයුරු දක්නට ලැබුණි.
අනතුර නිසා ඊයේ උදේ 5.25ට රඹුක්කන සිට කොළඹ කොටුව බලා ධාවනය කිරීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය අවලංගු කිරීමට සිදුවිය.
මේ පිළිබඳව රඹුක්කන දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති දිලීප රණසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඔහු මෙසේ පැවසීය.
"පාන්දර 3.00ට විතර නතර කරලා තිබුණු බලවේග දුම්රිය තිරිංග පද්ධතියේ ගැටලුවක් නිසා දුම්රිය ස්ථානයේ නවතා තිබූ තෙල් ටැංකියක ගැටීමෙන් තමයි මෙම අනතුර සිද්ධ වුණේ. තෙල් ටැංකියට හානි වෙලා තිබුණු නිසා ඉන්ධන ගොඩක් අපතේ ගියා. ඉතිරි ඉන්ධන බවුසර් ගෙනල්ලා ඉක්මනටම පුරෝගන්න කටයුතු කළා. අනතුරෙන් දුම්රිය ස්ථානයේ තිබුණු බුදු ගෙට හානි සිදුවුණා. ඒත් වෙනත් ලොකු හානියක් දුම්රිය ස්ථානයට වුණේ නෑ. උදේ පාන්දර සිදුවූ මෙම අනතුරෙන් දුම්රිය ධාවනයට කිසිදු බාධාවක් ඇති වුණේ නෑ. මෙම දුම්රිය අනතුර ගැන ඉදිරි විමර්ශන කටයුතු දුම්රිය දෙපාර්තමේන්තුව මගින් කරගෙන යනවා."
1687 Views
Comments