“වෙඩි තැබීම සිදු කලේ ලක්ෂ දෙකහමාරකට” - ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවන්ගේ පාපෝච්චාරණය

සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීම සඳහා පැමිණි දෙවැනි වෙඩික්කරු හා වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයේ රියදුරුව පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමත් සමග කරුණු රැසක් මේ වනවිට අනාවරණය වෙමින් තිබේ.
මෙම පුද්ගලයින් දෙදෙනා පානදුර පිංවත්ත ප්‍රදේශයේ බස් නැවතුම්පොළක් අසල රැඳී සිටින බවට පානදුර කොට්ඨාසය භාර ජ්‍යේෂඨ පොලිස් අධිකාරීවරයාට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගැනුණි.
ඔවුන්ගෙන් අයෙක් 32 හැවිරිදි සජිත් ශ්‍රියන්ත ද සිල්වා හෙවත් 'පොඩි බලයා' සහ වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයේ රියදුරු වූ 29 හැවිරිදි මදුශංඛ ද සිල්වා නොහොත් 'බහිරවයා' නම් දෙදෙනාය.
සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, පොලීසිය මාධ්‍ය හරහා ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පැතීමත් සමග තමන්ට සැඟව සිටීමට තැනක් නොතිබූ බවය.
ක්ලබ් වසන්ත ඝාතනයට ආසන්න දිනකදී තමන් ඇතුළු පිරිස ඩුබායිහී සිටින පුද්ගලයෙකුගේ සම්බන්ධීකරණය මත අතුරුගිරිය ප්‍රදේශයේ නිවසකට පැමිණි බවද ඔවුන් පොලීසිය හමුවේ පවසා තිබේ.
එම නිවසට පැමිණි අයෙකු විසින් පසුදින උදෑසන ඝාතනය කළයුතු පුද්ගලයාගේ ඡායාරූපයක් පෙන්වූ බවත් ඡායාරූපයේ සිටින පුද්ගලයා ක්ලබ් වසන්ත බවට එහිදී හඳුනානොගත් බවත් ඔවුන් පවසා ඇති බව සඳහන් ය.
අනතුරුව KPI ලෙස සටහන් කරන ලද උණ්ඩ යෙදූ මැගසින් සහිත ටී.56 ගිනි අවි දෙක වෙඩික්කරුවන්ට ලබාදී ඔහු එම ස්ථානයෙන් පිටව ගිය බවට සැකකරුවන් පාපෝච්චාරණය කළ බව පොලීසිය පැවසීය.
ඒ අනුව පසුගිය ජුලි මස 8 වනදා උදෑසන වෙඩික්කරුවන් දෙදෙනා 'බහිරවයා' නමැත්තා සමගින් මෝටර් රථයකින් අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයට ගොස් ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කර තිබේ.
එහිදී පළමුව ටැටූ මධ්‍යස්ථානයට ඇතුළු වූ 'පොඩි බලයා' නමැති වෙඩික්කරු සිතා ඇත්තේ, කේ. සුජීවාගේ සැමියා ක්ලබ් වසන්තගේ පෞද්ගලික ආරක්ෂකයෙක් බවටය.
ඒ අනුව ඔහුට වෙඩි ප්‍රහාර තුනක් එල්ල කළ සැකකරු අනතුරුව සිය පළමු මැගසිනයේ උණ්ඩ අවසන්වන තෙක් ක්ලබ් වසන්තට වෙඩි තැබූ බවට පොලීසියට පවසා තිබේ.
පසුව ඔහු පසුපස සිටි අනෙක් වෙඩික්කරුද ක්ලබ් වසන්තට වෙඩි තැබූ බව ඔහු පවසා ඇත.
අනතුරුව ඔවුන් මෝටර් රථයෙන් පැමිණ වෑන් රථයකට නැඟ කඩවතට ගොස් එහි සිට මාතර දක්වා බස් රථයකින් පළාගොස් තිබේ.
මාතරදී ඔවුන් සතුව තිබූ ගිනිඅවි වෙනත් අයෙකු පැමිණ රැගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
පසුව ඔවුන් කතරගම ප්‍රදේශයේ සැඟව සිටියදී 'ලොකු පැටී' ඩුබායී සිට දුරකථනයෙන් අමතා ඔවුන්ට සුබ පතා තිබේ.
එමෙන්ම කතරගමදී ප්‍රවෘත්ති ප්‍රකාශ නැරඹීමේදී තමන් විසින් ඝාතනය කර ඇත්තේ ක්ලබ් වසන්ත නමැත්තා යැයි දැනගත් බවට ඔවුන් පොලීසිය හමුවේ හෙළිකර ඇත.
ඝාතනය වෙනුවෙන් අවස්ථා කිහිපයකදී මොවුන්ට රුපියල් ලක්ෂ දෙකහමාරක පමණ මුදලක් ලබාදී ඇති බවද පොලීසිය සඳහන් කළේය.
පසුව පිරිස මාතරට පැමිණ වෙන්වී ගොස් ඇති අතර පොලීසිය මොවුන් අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පැතීමත් සමග නැවත එක් වී විවිධ ස්ථානවල සැඟව සිට ඇති බව කියයි.
එහිදී තමන් දෙදෙනාට බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වූ අමල් සිල්වා නැමැත්තාගේ නිවසේ නවාතැන් ගන්නා ලෙසට ඩුබායි සිට උපදෙස් ලැබුණු බවද ඔවුන් පොලීසිය හමුවේ අනාවරණ කර තිබුණි.
213 Views
Comments