පකිස්ථාන නාවික හමුදා ප්‍රධානියා අගමැති හමු වෙයි

සාගර ආරක්ෂාව සහ සාමය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තියට තම රට පූර්ණ සහයෝගය ලබා දෙන බවත් තම රට ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන්ට පුහුණු අවස්ථා ලබා දීම අඛණ්ඩව සිදු කරන බවත් පකිස්ථාන නාවික හමුදාපති අද්මිරාල් මුහම්මද් අම්ජාඩ් ඛාන් නියාසි මහතා පවසයි.
ඊයේ (27) අරලියගහ මන්දිරයේදී පකිස්ථාන නාවික හමුදාපතිවරයා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.
සන්නද්ධ ගැටුම් පැවති සමයේ මෙන්ම ජාත්‍යන්තර සමුළුවලදී ද ශ්‍රී ලංකාවට ලබාදුන් සහය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා එහිදී පාකිස්ථානයට සිය ස්තූතිය පළ කළ අතර ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර සමුද්‍රීය ක්‍රියාකාරකම් තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අවස්ථා ගවේෂණය කිරීම සඳහා දෙරට අතර සමුද්‍ර කලාපීය සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳව ද ඔහු අවධාරණය කොට තිබේ.
ජාත්‍යන්තර මුහුදු මාර්ගවලට ආසන්නව පිහිටා ඇති සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් වන ශ්‍රී ලංකාව සමුද්‍රීය සාමය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් දක්වන උනන්දුව පිළිබඳව අග්‍රාමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය.
මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන, පාකිස්ථාන ආරක්ෂක උපදේශක මේජර් ජෙනරාල් උමාර් ෆාරුක් බක්රි, පාකිස්ථාන නාවික හමුදාවේ අද්මිරාල් මුහම්මද් අම්ජාඩ් ඛාන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ රියර් අද්මිරාල් එන්. එම්. ජේ. ඩී නිශ්ශංක යන මහත්වරු එක්ව සිටි.
194 Views
Comments