ඖෂධ ගැටලුවට මාස දෙකක් තුළ විසඳුම්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
29

ඖෂධ ගැටලුවට මාස දෙකක් තුළ විසඳුම්

ඖෂධ ගැටලුවට මාස දෙකක් තුළ විසඳුම්

විදේශ විනිමය ගැටලුව හේතුවෙන් පැන නැගී ඇති මෙරට ඖෂධ හිඟය මාස දෙකක කාලයක් ඇතුළත මුළුමනින්ම විසඳීමට හැකිවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

 

සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඖෂධ ආනයනය සඳහා ඩොලර් මිලියන 400 ක පමණ මූල්‍යාධාර මේ වනවිට ලැබී ඇති බවයි.

 

කෙසේ නමුත් ඖෂධ ඇණවුම් කිරීමෙන් අනතුරුව නිෂ්පාදන කටයුතු ආරම්භ කරන බැවින් එම ඖෂධ ගෙන්වීමට මාස තුනක පමණ කාලයක් ගතවනවා.

 

එහෙත් ප්‍රධාන පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගම් අමතා තමා කළ විමසීම්වලින් අනතුරුව එම නිෂ්පාදන මාස දෙකකට අඩු කාලයක දී ලබාදීමට ඔවුන් පොරොන්දු වූ බවයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ.

 

මෙහිදී ජීවිතාරක්ෂක ඖෂධ ගෙන්වීම සඳහා ප්‍රමුඛත්වයක් හිමිවනවා.

 

ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමයේ රටවල් ද මෙරට ඖෂධ හිඟය මග හරවාලීම සඳහා ආධාර ලබාදීමට එකඟ වී තිබෙනවා.

 

මෙලෙස විදේශ ආධාර ලැබීම විනිවිදභාවයකින් පවත්වාගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ ඒකාබද්ධ ගිණුමක් ආරම්භ කිරීමටද තමා යෝජනා කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

 

එම ගිණුම ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදෙන ඩොලර් මිලියන 1.5 ක මූල්‍යාධාරයකින් ආරම්භ කිරීමට ද එකඟත්වය පළ වී තිබෙනවා.

 

රටවල් රැසක් මේ වනවිට මෙරටට ඖෂධ පරිත්‍යාග කර ඇති අතර, බංග්ලාදේශය ලබාදෙන ඩොලර් මිලියන 2.3 ක් වටිනා ඖෂධ ඉදිරි සතියේ දිවයිනට පැමිණීමට නියමිතයි.

 

කෙසේ නමුත් අත්‍යවශ්‍ය ඖෂධ මෙන්ම ජීවිතාරක්ෂක ඖෂධ අවස්ථාව පරිදි ගෙන්වීම සඳහා ඩොලර් සංචිතයක් පැවතීම වැදගත්. ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ ස්ථාපිත කරන ඒකාබද්ධ ගිණුමකින් එම අවශ්‍යථාව සපුරාලිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

 

මේ අතර අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ කඩිනමින් ගෙන්වා ගැනීමට කටයුතු කෙරෙන අතර එලෙස අවශ්‍ය වී ඇති ජලභීතිකා එන්නත, ගුවනින් ගෙන්වා ගැනීමට කටයුතු කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියා.

 

ඖෂධ හිඟය කළමනාකරණය කිරීමට සිදුව ඇත්තේ ඉදිරි මාස එකහමාරක පමණ කාලයක් සඳහා පමණක් බවයි ඔහු සඳහන් කළේ.

 

එතෙක් මෘදුකාංග මෙවලමක් හරහා දිවයින පුරා රෝහල් සතු ඖෂධ ජාල ගත කර අවශ්‍ය ස්ථානවලට ලබාගන්නා බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

 

මේ අතර මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක් හෙවත් රුපියල් මිලියන 718 ක් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා සඳහන් කළා.

 

ඒ අනුව රිජ්වේ ආර්යා ළමා රෝහලට සහ මහරගම අපේක්ෂා රෝහලට ඩොලර් මිලියනය බැගින් පරිත්‍යාග කිරීමට අපේක්ෂිතයි.

 

එමෙන්ම බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඊයේ (28) දිවයිනට පැමිණි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නගෙන් මාධ්‍යවේදියෙකු මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළා.

 

එහිදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ අවධානය යොමුව ඇති බවත් ලබාදිය හැකි සහාය කුමක්ද යන්න පිළිබඳ සාකච්ඡා කර අවසන් තීරණයකට පැමිණෙන බවයි.

views

660 Views

Comments

arrow-up