ලයිසන් කාඩ් නැතිව ලක්ෂ 09ක් ලයිසන් පෝලිමේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
02

ලයිසන් කාඩ් නැතිව ලක්ෂ 09ක් ලයිසන් පෝලිමේ

ලයිසන් කාඩ් නැතිව ලක්ෂ 09ක් ලයිසන් පෝලිමේ

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන රියදුරු බලපත්‍ර (කාඩ්පත්) ලබාගැනීම සඳහා ලක්‍ෂ 09ක පමණ පිරිසක් පොරොත්තු ලේඛනයේ සිටින බවට වාර්තා වෙයි.

 

මෙම පිරිස රියදුරු බලපත්‍ර ලබාගැනීම සඳහා සියලු සුදුසුකම් සපුරා තිබුණත් මොවුන්ට රියදුරු බලපත්‍ර ලබාදීමේ කාඩ්පත් දෙපාර්තමේන්තුව සතුව නොමැතිවීම නිසා මෙම තත්ත්වය උදාවී ඇති බවත් මෙම සංඛ්‍යාව දිනෙන් දින වැඩිවන බවත් එහි උසස් නිලධාරියෙක් පැවසීය.

 

කාඩ්පත් නිසිලෙස ලැබෙන්නේ නම් විශේෂ අවශ්‍යතා ඇති බලපත්‍ර ලාභියෙකුට වසර දෙකකට වරක්ද, සාමාන්‍ය බලපත්‍ර ලාභියෙකුට වසර අටකට වරක්ද බලපත්‍ර අලුත්වැඩියා කිරීමේ අවස්ථාව හිමිවේ. එහෙත් නිසියාකාරව බලපත්‍ර කාඩ්පත නොලැබී ඇති පිරිස්වලට මාස හයකට වලංගු තාවකාලික බලපත්‍රයක් ලබාදී තිබේ.

 

එහි කාලය ඉකුත් වූ පිරිස් දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයකට, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට, වේරහැර ශාඛාවට ගොස් කාලය දික්කර ගැනීමට යෑමේදී අපහසුතාවයට පත්ව ඇත.

 

මේ සම්බන්ධයෙන් මෝටර් රථ කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ ජර්මනියේ සිට මෙම කාඩ්පත් ගෙන්වන බවත්, යුරෝ මුදල් සොයාගැනීමේ අපහසුතාවය නිසා වේලාවට ඒවා ගෙන්වා ගත නොහැකි වූ බවත්ය.

 

මේ වනවිට මුදල් කොටසක් ගෙවා ඇණවුම් කළ කාඩ්පත් ලක්‍ෂ 05 ක ප්‍රමාණයෙන් කාඩ්පත් 50,000 ක් දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවත් ඔහු කීවේය. එම කාඩ්පත් ද විදෙස්ගත වන අයගේ අවශ්‍යතා අනුව ලබාදීම සිදු කරන බවත් හෙතෙම පැවසීය.

 

කෙසේ වෙතත් කාඩ්පත් ලබාගැනීම සඳහා සිදුකර තියෙන ඇණවුමට අනූව මේ මාසයේ බලපත්‍ර කාඩ්පත් ලැබෙන බවත් ඒවා ලැබීමෙන් පසු මෙතෙක් නිකුත් නොකළ පිරිස් වෙත එම කාඩ්පත් මුද්‍රණය කර ලබාදීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

views

319 Views

Comments

arrow-up