ගෝඨාභයගෙන් ලැබුණු ඇමතුමක් ගැන කාදිනල් හිමි කල හෙළිදරව්ව
විදේශගත ඔබට
Latest_News
calendar
APR
21

ගෝඨාභයගෙන් ලැබුණු ඇමතුමක් ගැන කාදිනල් හිමි කල හෙළිදරව්ව

ගෝඨාභයගෙන් ලැබුණු ඇමතුමක් ගැන කාදිනල් හිමි කල හෙළිදරව්ව

පැවති රජය හා වත්මන් රජයද දිගින් දිගටම පාස්කු ප්‍රහාරයේ සත්‍යය යටපත් කිරීමට උත්සාහ ගන්නා බවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් චෝදනා කරයි.

 

කාදිනල් රංජිත් හිමිපාණන් ඒ බව පවසා සිටියේ, පාස්කු ප්‍රහාරය එල්ලවී වසර 5 සැපිරීම වෙනුවෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ පැවති ප්‍රධාන වැඩසටහනට එක් වෙමිනි.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල් රංජිත් හිමිපාණන්,

 

"පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සහ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තා නිර්දේශ වන කරුණු ක්‍රියාත්ම කිරීමේ මූලික වශයෙන් පැවරුණේ ජනාධිපති ධුරයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතය. පාස්කු ප්‍රහාරය පිළිබඳ විනිවිද පෙනෙන පරීක්ෂණයක් පවත්වා ඒ ගැන සාධාරණය ඉටුකරන බවට සහතික වූ ඒ මහතා. ජනාධිපති කොමිෂන් සභා වාර්තාව, රටේ ජනාධිපති ලෙස පිළිගත් දිනට පසු දිනම දුරකථනයෙන් මා අමතමින් එසේ කිරීමට තමන්ට දුශ්කරතා ඇති බව සඳහන් කිරීම තුළත් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට යාම නිසා තමන්ට හිතවත් ඇතැම් සංවිධානවල නායකයින් අත්අඩංගුවට ගැනීමට යාම සහ ඔවුන්ගේ සංවිධාන තහනම් කිරීමට සිදුවීම තුළින් වාර්තාවේ ඉදිරිපත්කර ඇති නිර්දේශ තමන්ට ක්‍රියාත්මක කරන්න නොහැකි බවත් සඳහන්කළ අයුරු මට මතක් වේ."

"විමර්ශන මෙහෙයවූ ඇතැම් නිලධාරීන් එම තනතුරුවලින් ඉවත්කර ඔවුන්ගේ ප්‍රධානියෙකු සිරගත කරවීමට පවා කටයුතු කරමින්ද තවත් නිලධාරීන් එම නිලතලවලින් ඉවත් කර ඈත ප්‍රදේශවලට මාරුකර යැවීමට ක්‍රියාකරමින්ද තමන්ට හිතවත් නිලධාරීන් පමණක් ඒ සඳහා පත්කරමින්ද මෙම විමර්ශන කඩාකප්පල් කිරීමට හා එතුමාට අවශ්‍ය අයුරින් මෙහෙයවීමට එතුමා ගත් පියවර ඇත්තෙන්ම කනගාටුදායකයි. එක දෙයක් පිළිබඳ බලවත් සැකයක් ඇති වේ එනම් එහි සත්‍ය යටපත් කිරීමට පැවති රජය හා වත්මන් රජයද දිගින් දිගටම ක්‍රියාත්මක වෙමින් මෙයට සම්බන්ධ ඇතැම් පුද්ගලයින් හා ඇතැම් ආයතන ආරක්ෂා කිරීමට ක්‍රියාකරන බවයි. මෙම ප්‍රහාරය පිටුපස අන්තවාදී මුස්ලිම් ත්‍රස්තවාදීන් පිරිසක් ක්‍රියාකළ බව ඇත්ත වුවත් ඔවුන් පිටුපස තවත් බලවේග සිටි බවට ශාක්ෂි මතුවී තිබියදීත් ඒ පිළිබඳව හරියාකාර විමර්ශනයක් සිදු නොවීම තුළ සහ සාක්ෂි යටපත් කිරීමට ඕනෑකමින් කටයුතු කිරීම තුළ වත්මන් රජයටද මෙම ප්‍රහාරය පිළිබද සත්‍ය සඟවා තැබීමට වුමණාවක් ඇති බව හැර අපට වෙන නිගමනයකට එළැඹිය නොහැක. මේ ප්‍රහාරය ගැන දැනගෙන සිටියදී එය වැළැක්වීමට කටයුතු නොකළ දේශපාලනික හා ආරක්ෂක අංශවල නිලධාරීන්ට එරෙහිව නීතිව ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිතුමට නිර්දේශ ඇතත් එතුමා මේ වනතුරුත් මුණිවත රැකීම අපි තරයේ හෙළාදකිමු. මෙය ජත්‍යන්තර තලයට ගෙන යන්නේ අප කතෝලික ජනතාව අප රටට ආදරය නොකරන නිසා නොව. අපට සිදුවූ මේ මහා විනාශය පිළිබඳ සත්‍ය සොයාගැනීමට අපට වෙන විකල්පයක් නොමැතිවීම නිසාය."

views

53 Views

Comments

arrow-up