දුක්විඳින ජනතාව වෙනුවෙන් විදුලි බිල අඩුකරන්න ජනක ඉදිරිපත් වෙයි

පසුගිය දින විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (10) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
මහජන උපයෝගීතා කොමිසම, එම කොමිසමේ සාමාජිකයන්, ලංකා විදුලිබල මණ්ඩල මණ්ඩලය, ලෙකෝ ආයතනය සහ නීතිපතිවරයා එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
2023 ජනවාරි මස 5 වැනිදා විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා වූ යෝජනාවක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කළ අතර ඒ අනුව අදාළ කොමිසම විසින් පුවත්පත් දැන්වීම් පළ කර ඊට අදාලව විවිධ පාර්ශව ගෙන්වා අදහස් ලබාගත් බවද පෙත්සම්කරු පවසයි.
පසුගිය පෙබරවාරි මස 13 සිට 24 වැනිදා දක්වා තමන් විදේශගත වී සිටි බවත්, එම කාල සීමාවේ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පැවැති මාර්ගගත සාකච්ඡාවකදී මෙම ගාස්තු සංශෝධනය කිරීමට තමා විරුද්ධ වූ බවත් පෙත්සම්කරු කියා සිටී.
මෙම ගාස්තු සංශෝධනය අදාළ කොමිසමේ බහුතර සාමාජිකයන්ගේ එකඟතාවය මත අනුමත කෙරුණු බවත් පෙත්සම්කරු පවසයි.
මෙම ගාස්තු සංශෝධනය තුළින් අඩු විදුලි ඒකක සංඛ්‍යාවක් පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයින්ට දැඩි අසාධාරණයක් සිදු වී ඇති බවත් ඔහු කියා සිටී.
මහජන උපයෝගීතා කොමිසම යනු මහජනතාවගේ යහපත උදෙසා කටයුතු කිරීමට බැඳී සිටින ආයතනයක් නමුත් මෙම විදුලි ගාස්තු සංශෝධනයට අනුමැතිය දීම තුළින් එම කොමිසම මහජන යහපතට පටහැණි ආකාරයෙන් කටයුතු කර ඇති බවත්, එය නීතියට පටහැණි බවත් පෙත්සම්කරු පෙන්වා දෙයි.
එබැවින් ලංකා විදුලි බල මණ්ඩලය විසින් සිදුකළ විදුලි ගාස්තු වැඩි කිරීම තුළින් මෙරට මහ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ ගාස්තු සංශෝධනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
221 Views
Comments