බන්ධනාගාරයෙන් මතු වූ මැණික

දුම්බර බන්ධනාගාරයේ මීට දින කිහිපයකට පෙර අධිකරණය විසින් රක්‍ෂිත බන්ධනාගාර ගත කළ රැඳවියෙකු සතුව තිබී මැණික් ගලක් සොයාගෙන ඇත.
ඒ, ලද තොරතුරකට අනුව එම බන්ධනාගාරයේ නිලධාරීන් සිදුකළ සෝදිසි මෙහෙයුමකදීයි. සෝදිසි මෙහෙයුම සිදුකරන අවස්ථාවේ අදාළ රැඳවියෙකු එම මැණික් ගල සිය ඉනෙහි සඟවා ගෙන සිට ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත ඒ සම්බන්ධයෙන් දැනුම් දී එහි නියමිත තක්සේරුව ලබාගැනීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අධිකරණය වෙත දැනුම් දෙන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසා සිටී.
මේ අතර සිය රාජකාරී හිස් වැසුමෙහි සඟවා දුම්වැටි තුනක් වැලිකඩ බන්ධනාගාරයට රැගෙන යාමට තැත් කළ බන්ධනාගාර සැරයන්වරයෙකුට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇත.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ අදාළ නිලධාරියා සතුව තිබූ අත් විලංගුවකට අදාළ යතුරක් සොයා ගත් බවයි. ඒ, වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට රාජකාරි කරමින් සිටි බන්ධනාගාර බුද්ධි අංශයේ නිලධාරීන් විසිනි.
මූලික පරීක්‍ෂණයකට යටත්ව අදාළ නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට තීරණය කර ඇත.
199 Views
Comments