හොරණදී සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකුට බරපතලයි

හොරණ ගුරුගොඩ සමෘද්ධි බැංකුව අසල දී අද පස්වරුවේ මෝටර් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
මෝටර් රථය මීවනපලාන සිට ගුරුගොඩ දෙසට පැමිණෙමින් සිටි අතර, වංගුවක් සහිත ස්ථානයකදී විරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදිය මෝටර් රථයේ මුහුණට මුහුණ ගැටී ඇති බව සඳහන් වේ.
යතුරු පැදිය සහ මෝටර් රථය එකිනෙක ගැටීමත් සමග ගිනි ගැනීමට ලක්ව ඇති අතර, ප්‍රදේශවාසීන් මැදිහත් වී ගින්න නිවා දමා ඇති බව සඳහන් වේ.
යතුරුපැදියේ පසුපස ගමන් ගත් පුද්ගලයා අනතුරත් සමග මීටර් පහළොවක් පමණ උඩින් විසිවී ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවේ ඇති වෙළෙඳසැලක වහලය මත පතිත වී ඇති අතර, යතුරුපැදිකරු කම්බි වැටක් මතින් විසි වී ගොස් අසල ඉඩමකට වැටී ඇති බව වාර්තා වේ.
යතුරුපැදිය පැදවූ පුද්ගලයාගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බව පොලීසිය ප්‍රකාශ කර සිටී.
පසු පැදිකරු පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසි එකක් වන තරුණයෙක් වන අතර විසි එක් හැවිරිදි අනෙක් තරුණයා මුණගම පදිංචිකරුවෙක් බව සඳහන් වේ.
තුවාලකරුවන් දෙදෙනා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.
197 Views
Comments