කැපකිරීම් කරන්න සූදානම් වෙන්න.. රට සම්පූර්ණයෙන් වසා දැමීමෙන් වන බලපෑම ජනතාව තේරුම්ගත යුතුයි - ජනපති ජාතිය අමතමින් කියයි (VIDEO)

රටේ පවතින තත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතනු ලැබුවා.
එහිදී ඔහු කියා සිටියේ පැතිර යන මෙම වසංගතයට එකම විසඳුම ලොවම පිළිගෙන ඇති එන්නත්කරනය බවයි.
මේ වනවිට ශ්‍රී ලංකාව එන්නත්කරනය අතින් සාර්ථකත්වයක් ලබමින් සිටින බවත් සැප්තැම්බර් 10 වන දා ට පෙර වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාම එන්නත් කරණය කිරීම සඳහා සැලසුම් කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.
රට සම්පූර්ණයෙන් වසා තැබීමෙන් රටේ ආර්ථිකයට සිදුවන බලපෑම ජනතාව තේරුම් ගත යුතු බව ජාතිය අමතමින් වැඩිදුරටත් ජනාදිපතිවරයා සඳහන් කලා.
covid පළමු රැල්ලේ දී රට සම්පූර්ණයෙන් වසා දමා දැඩි තීන්දු වලට එළඹුණේ වෙනත් විසඳුමක් නොතිබූ නිසා බවත් එම කාලය නිදහසින් පසු රට අඩුම ආදායමක් ලැබූ කාලපරිච්ඡේදය බවත් මෙහිදී සඳහන් කෙරුනා.
ඒ අතරම ස්වයං රැකියා වලින් ජීවිකාව තරකර ගන්නා මිලියන 4ක ජනතාවගේ ආදායමද අහිමි වූ බව සිහිපත් කෙරුණා.
විදේශ ආදායම කෙතරම් අඩු වුවද විදේශයන්ගෙන් ලබාගත් ණය මුදල් නිසි පරිදි ආපසු ගෙවූ බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ මෙය වැඩ වර්ජන හෝ උද්ඝෝෂණ කිරීමට කාලයක් නොවන බවයි. එවැනි දේ කර රට අරාජික නොකරන ලෙස ඉල්ලා සිටියා.
සෞඛ්‍ය අංශ සෞඛ්‍ය පිළිබඳව පමණක් සිතා කටයුතු කළ ද රජයක් ලෙස තමන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම, විදේශ ණය ගෙවීම ඇතුළු බොහෝ දේ පිළිබඳව සිතා බැලිය යුතු බවද ඔහු කියා සිටියා.
අවසානයේ ජනාධිපතිවරයා කියා සිටියේ වසංගත තත්වය හේතුවෙන් දීර්ඝ කාලයක් රට වසා තැබීමට සිදුවුවහොත් ජනතාවටද කැපකිරීම් කිරීමට සිදුවනු ඇති බවයි.
2572 Views
Comments