තෙල් මිලදී ගැනීමට විදෙස් ඇමති එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සහය ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
24

තෙල් මිලදී ගැනීමට විදෙස් ඇමති එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සහය ඉල්ලයි

තෙල් මිලදී ගැනීමට විදෙස් ඇමති එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සහය ඉල්ලයි

තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් සහය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

 

එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව විදේශ අමාත්‍යවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කර්මාන්ත හා උසස් තාක්‍ෂණ අමාත්‍ය ආචාර්ය සුල්තාන් අල් ජාබර් හමුවූ අතර, අන්‍යෝන්‍ය අවබෝධය සහ ගෞරවය මත පදනම්ව රටවල් අතර පවතින යහපත් සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා සිය කැපවීම අමාත්‍යවරු දෙදෙනාම යළි තහවුරු කළ බවයි විදේශ අමාත්‍යාංශය කියාසිටියේ.

 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයීඩ් අල් නහ්යාන් සමඟ පැවති සිය දීර්ඝකාලීන මිත්‍රත්වය සිහිපත් කළ අමාත්‍ය පීරිස් , ඉක්මනින් ඔහු ශ්‍රී ලංකාවේ දී පිළිගැනීමට තමා අපේක්ෂා කරන බව සඳහන් කර තිබෙනවා.

 

ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඇතුළු ජාත්‍යන්තර සංසද තුළ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර සාර්ථක හා ඵලදායී සහයෝගීතාවයක් පවතිනවා.

 

විවිධ කොන්දේසි සහ න්‍යාය පත්‍ර රටවල් මත පැනවීම පිළිගත නොහැකි බවටත්, සෑම ගැටලුවකටම සරිලන එක් විසඳුමක් පිළිබඳ ප්‍රතිපත්තිය මඟින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා නොදෙන බවටයි අමාත්‍යවරුන් දෙදෙනාම එකඟ වී ඇත්තේ.

 

දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ද සෑම ගැටලුවකටම සරිලන එක් විසඳුමක් පිළිබඳ ප්‍රතිපත්තිය අදාළ නොවන බවත්, ඔවුන්ගේ ආර්ථිකයන්ට බලපෑම් නොකර දේශගුණික විපර්යාසයන් සඳහා අනුවර්තනය වීමට සහ ලිහිල් කිරීමට ඉඩ සලසන යාන්ත්‍රණයන් නිර්වචනය කළ යුතු බවත් අමාත්‍ය අල් ජාබර් ප්‍රකාශ කර තිබෙනවා.

 

2023 දී එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමු සම්මුතියට (COP 28) සත්කාරකත්වය ලබා දීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය නාමයෝජනා ඉදිරිපත් කළ අතර, ඒ සඳහා ශ්‍රී ලංකාවේ සහය අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළා.

 

දළ වශයෙන් ශ්‍රී ලාංකිකයින් 300,000 දෙනෙකු පමණ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජීවත් වෙමින් සේවය කරනවා.

 

විශේෂයෙන් කොවිඩ්-19 වසංගතය අතරතුර ශ්‍රී ලාංකිකයින් සඳහා රැකියා අවස්ථා ලබා දීම සහ ඔවුන්ගේ සුභසාධනය පිළිබඳව සොයා බැලීම ශ්‍රී ලංකා රජය අගය කරන බවයි විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළේ.

 

සේවකයින්ගේ සුභසාධනය සම්බන්ධව ඵලදායි නීති සම්පාදනය කිරීම පිළිබඳ ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජයට ස්තූති කර තිබෙනවා.

 

අමාත්‍ය පීරිස් මැතිතුමා අල් ජාබර් අමාත්‍යවරයාට ශ්‍රී ලංකාවේ එන්නත් කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳ විස්තර කළ අතර, වීසා බලපත්‍ර ලිහිල් කිරීම අගය කරමින්, එය තවදුරටත් ව්‍යාප්ත කිරීම පිළිබඳව අපේක්ෂාව පළ ළා.

 

විශේෂයෙන් ගල්ෆ් කලාපයෙන් පැමිණෙන අමුත්තන්ගේ නිශ්චිත ප්‍රමුඛතා හා අවශ්‍යතා සපුරාලීමේ හැකියාව ඉස්මතු කරමින්, සංචාරක අංශය නැවත ඉහළ නැංවීම සඳහා රජය ගෙන ඇති පියවර ද ඔහු විස්තර කර තිබෙනවා.

 

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් විදේශ අයවැය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැනට මුහුණ දෙන අභියෝග පිළිබඳව විදේශ අමාත්‍ය පීරිස් පැහැදිළි කළ බවයි විදේශ අමාත්‍යංශය කියාසිටියේ.

 

විශේෂයෙන් රටේ තෙල් අවශ්‍යතාවය කෙරෙහි එහිදී අවධානය යොමු කළ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සහන සැලැස්මක් ඉල්ලා තිබෙනවා.

 

ඊට ධනාත්මක ලෙස ප්‍රතිචාර දක්වමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය උදව් කිරීමට සතුටු වන බව පැවසූ අල් ජාබර් අමාත්‍යවරයා, එම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා උපාය මාර්ගික රාමුවක් ස්ථාපිත කිරීමට යෝජනා කළා.

 

ඒ පිළිබඳව ඉක්මනින් පසු විපරම් කිරීම සඳහා දෙපාර්ශවයම එකඟ වූ බවයි විදේශ අමාත්‍යංශය නිවේදනය කළේ.

 

මේ අතර විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ අමාත්‍ය දොන් ප්‍රමුද් විනායි හමුවී සාකච්ඡාවක නිරතව තිබෙනවා.

 

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව මෙම හමුව පවත්වා ඇති අතර එහි ථෙරවාදි බුදුදහම අනුගමනය කරන රටවල් දෙකක් ලෙස ශක්තිමත් හා ඓතිහාසික ද්වීපාර්ශවික සබඳතා පවතින බවයි පෙන්වා දී ඇත්තේ.

views

885 Views

Comments

arrow-up