කුඩු ගහන්න එපා කිව්වැයි උරණවූ පුතා මවට සහ බිරිඳට මන්නයෙන් කොටා ගෙටත් ගිනි තියලා

මහරගම, දුම්රියපොළ පටුමග ප්‍රදේශයේ පිහිටි පැල්පත් නිවාස පේළියක ජීවත්වන පුද්ගලයෙකු 11 වන දින අලූයම එකට පමණ තම බිරිඳ සමඟ ඇතිවූ ආරවුලක් හේතුවෙන් මවට සහ බිරිඳට මන්නයෙන් කොටා තුවාල සිදුකර පැල්පත් නිවසටද ගිනි තබා පළා ගොස් තිබේ.
පැල්පත් නිවාසය ගිනි ගනිමින් තිබියදී අවට ප්‍රදේශවාසීන් විසින් දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථයක් කැඳවා මහත් පරිශ්‍රමයකින් පසු ගින්න මැඬ පවත්වා තිබේ.
මෙම පුද්ගලයා තම මිතුරෙකු සමඟ නිවසට පැමිණ නිවස තුළ සිට අයිස් නමැති මත්ද්‍රව්‍ය පානය කිරීමට සූදානම්වූ අවස්ථාවේ එයට විරුද්ධව බැණ වැදුණු බිරිඳ සමඟ උරණ වී මාලු කැපීමට උපයෝගී කරගන්නා තියුණු මන්නයක් වැනි ආයුධයක් ගෙන බිරිඳගේ ගෙලට කෙටීමට යාමේදී බිරිඳ එම මන්නා පහර වැළැක්වීම සඳහා අත අල්ලා ඇති බවත් එවිට ඇගේ අතේ වැලමිටට පහලින් කැපී ඇති බව දුටු මෙම පුද්ගලයාගේ මව විසින් එම ආරවුල විසඳීමට මැදිහත්වූ අවස්ථාවේ මවටද පා පහරක් මෙන්ම මන්නා පහරක් එල්ල කර නිවසට ගිනි තබන බව පවසා පළා ගොස් ඇති බවත් පොලීසිය සඳහන් කළේය.
සිදුවීම සිදුවී මද වේලාවකින් පසුව බිරිඳ සහ මව කැපුම් තුවාල සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පෞද්ගලික රෝහලක් වෙත ගියද ආරවුලක් මත ඇතිවූ තුවාල හේතුවෙන් ප්‍රතිකාර කිරීමට නොහැකි බවත් පොලිසිය දැනුවත් කර රජයේ රෝහලක් වෙත යන ලෙසත් ලැබුණු උපදෙස් අනුව නැවත නිවස වෙත පැමිණ රෝහල වෙත යන අදහසින් නිවසට පැමිණෙන විටත් සැමියා පැමිණ නිවසට ගිනි තබා පළාගොස් තිබූ බව පහරකෑමට ලක්වූ කාන්තාව පැවසුවාය.
නිවස ගිනි ගන්නා අවස්ථාවේදී යුහුසුළුව ක්‍රියාත්මක වූ පැල්පත්වාසී පුද්ගලයන් විසින් ජලය රැගෙනවිත් ගින්න පාලනය කිරීම සඳහා උත්සහ කළද එය වැළැක්වීමට නොහැකි බැවින් දුරකථන මාර්ගයෙන් මහරගම පොලිස් ස්ථානය සහ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවට අයත් ගිනි නිවීමේ ඒකකය දැනුවත් කිරීමෙන් පසුව එම ගිනි නිවීමේ සේවා ඒකකයේ නිලධාරීන් සහ ගිනි භටයින් පැමිණ ගින්න මැඩ පැවැත්වූ බව පොලිසිය සඳහන් කළේය.
නිවසේ තිබූ සියල්ල විනාශවී තිබෙන අතර ගින්න මැඩ නොපැවැත්වූවානම් මීට වඩා විනාශයක් වීමට ඉඩ තිබූ බව පොලිසිය පැවසීය.
17591 Views
Comments