මොරටුවේ වඩු කාර්මිකයෙකුට දිවි අහිමි කළ මාරක අනතුරේ සම්පූර්ණ කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
APR
11

මොරටුවේ වඩු කාර්මිකයෙකුට දිවි අහිමි කළ මාරක අනතුරේ සම්පූර්ණ කතාව

මොරටුවේ වඩු කාර්මිකයෙකුට දිවි අහිමි කළ මාරක අනතුරේ සම්පූර්ණ කතාව

මොරටුව දුම්රියපොලට යාබද නව ගාලු‍ පාරේදී යුධ හමුදා නිලධාරියෙකු විසින් පැදවූ වෑන් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ ගමන් කළ පාපැදිකරුවෙකු යට කරමින් වෑන් රථයක, ලොරි රථ දෙකක සහ යතුරු පැදියක ගැටීමෙන් බරපතල අනතුරක් සිදුව තිබේ.

 

මෙම අනතුරෙන් පාපැදියේ පැමිණි 53 වියැති පානදුර, හොරේතුඩුව, ගඟ හෙළ පාරේ විසූ අජිත් ප්‍රියලාල් නම් වඩු කාර්මිකයෙකු වෑන් රථය සහ කුඩා ලොරි රථයට මැදිව එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වන අතර, තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති බව ද වාර්තා වේ.

 

මෙම අනතුර සිදුවන අවස්ථාවේදී ලොරි රථය කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයේ නවතා තිබී ඇති අතර, ලොරියේ යටට රිංගා දෝෂය පරීක්ෂා කරමින් සිටි ලොරියේ රියදුරු, මාර්ගයේ ගමන් ගත් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙක් තුවාලකරුවන් අතර වන බව පැවසේ.

 

අනතුර සිදු කළ වෑන් රථය පදවා ඇත්තේ රත්මලාන යුධ හමුදා කඳවුරට අනියුක්ත යුධ හමුදා නිලධාරියකු වන අතර ඔහුගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව මොරටුව පොලිසියේ රථවාහන අංශය කියා සිටී.

 

වෑන් රථය ධාවනය කළ හමුදා නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (12) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට ඇතැයි ද, මියගිය අයගේ අවමංගල්‍ය කටයුතු සඳහා ලක්ෂ 02 ක සානුකම්පිත දීමනාවක් ගෙවන ලෙසට ඔහුට නියෝග කොට ඇතැයිද වාර්තා වේ.  

 

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරුණේ 25 හැවිරිදි සංජය ධනුෂ්ක වීරසිංහ නම් 25 හැවිරිදි  හපුතලේ පදිංචි සෙබළෙකි.

 


තුවාල ලැබූ කාන්තාවගේ තත්ත්වය බරපතල වීම නිසා ඇයව දකුණු කොළඹ රෝහල වෙත මාරුකර යවන ලද අතර මේ වන විට ඇය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කොට සිටී.

 

 
සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මොරටුව පොලිසියේ රථ රථවාහන අංශය මගින් සිදු කරනු ලබයි.

 

views

301 Views

Comments

arrow-up