පොලිසියට පාට් දැමූ පොහොට්ටු මන්ත්‍රී රිමාන්ඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
28

පොලිසියට පාට් දැමූ පොහොට්ටු මන්ත්‍රී රිමාන්ඩ්

පොලිසියට පාට් දැමූ පොහොට්ටු මන්ත්‍රී රිමාන්ඩ්

අත්තනගල්ල පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ වදිමින් පොලිස් ස්ථානය තුළ කළහකාරී ලෙස හැසිරුණු අත්තනගල්ල ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක් (පො.ජ.පෙ.) අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අත්තනගල්ල මහෙස්ත්‍රාත් ශෂිකා ලක්මාලි දසනායක මහත්මිය ජූනි මස 07 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට නියෝග කළාය.

 

නිට්ටඹුව, ඌරාපොල ප්‍රදේශයේ පදිංචි මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඉකුත් 24 දා ඌරාපොල ප්‍රදේශයේ පදිංචිකරුවකුගේ නිවසට අනවසරයෙන් ඇතුළු වී එම නිවසේ බඩු මුට්ටුවලට අලාභානි සිදුකර නිවසේ සිටි වයෝවෘද්ධ කාන්තාවකට සහ කුඩා දරුවෙකුට මරණීය තර්ජන සිදුකරමින් නිවෙස් හිමියාගේ බිරිඳට ලිංගික අතවර සිදු කිරීමට තැත්කර ඇත.

 

මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා නිවෙස් හිමි කාන්තාව අත්තනගල්ල පොලිසිය වෙත ගොස් ඇත.

 

එම අවස්ථාවේ අත්තනගල්ල පොලිසිය තුළට පැමිණි සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා එහි සිටි පොලිස් ස්ථානාධිපතිවරයාට හා නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වදිමින් කලහකාරී ලෙස හැසිරී ඇත. මෙසේ හැසිරීම නිසා පොලීසිය විසින් සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට පත්ව ඇත.

 

පහර දීම සිදු වූ නිවසේ නිවෙස් හිමියා පවසා සිටින්නේ පසුගිය මැයි 9 වැනිදා ඌරාපොල ප්‍රදේශයේ සිදුවූ කඩාකප්පල්කාරී ක්‍රියා සම්බන්ධයෙන් අත්තනගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙක් සඳහා ඇප ලබාදීම සඳහා ඉදිරිපත් වීම නිසා එයට උරණ වූ මන්ත්‍රීවරයා මෙසේ සිදු කරන්නට ඇති බවයි.

 

මහජන නියෝජිතයින් මෙවැනි සිද්ධීන් සිදු කිරීම නිසා නීතියේ ආධිපත්‍යයට බලවත් පහරක් එල්ල වන බව මහේස්ත්‍රාත්තුමිය සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාර ගත කරමින් ප්‍රකාශ කර සිටියාය.

 

නිවෙස් හිමියාගේ බිරිඳ මේ වනවිට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා වතුපිටිවල දිස්ත්‍රික් මූලික රෝහලට ඇතුළු කර ඇත.

views

589 Views

Comments

arrow-up