රජයේ අවි ගබඩාවෙන් අතුරුදන් වූ ගිනිඅවිය සමඟ නාවික සෙබළා වසර 04කට පසු මාට්ටු

රජයේ අවි ගබඩාවකින් 2021 වසරේදී අස්ථානගතව තිබූ ටී පනස්හය වර්ගයේ ගිනිඅවියක් සමග නාවික හමුදා සෙබළකු කුලියාපිටිය, ඉලුක්හේන ප්‍රදේශයේදී ඊයේ (16) අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය පවසයි.
කුලියාපිටිය පොලිසියේ නිලධාරීන්ගේ ද සහාය ඇතිව නාවික හමුදා මූලස්ථානයේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදී සැකකාර නාවික හමුදා සෙබළා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු 2021 වසරේ කොළඹ වරාය, රංගල කඳවුරට අනුයුක්තව අවි ගබඩාව භාරව සිට ඇති අතර එම කාලයේදී මෙම ටී 56 ගිනිඅවිය අස්ථානගතවී තිබිණි.
ඉලුක්හේන, ගල්පොල ජනපදය ප්‍රදේශයේ පදිංචි මෙම නාවික හමුදා සෙබළාගේ නිවසේ තිබී එම ගිනිඅවිය සොයාගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
සැකකාර සෙබළා වැලිසර නාවික හමුදා කඳවුරට රැගෙන ගොස් සිදුකරන විමර්ශනවලින් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා කුලියාපිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතව තිබිණි.
99 Views
Comments